Showing posts with label පළවෙනි පෝස්ටුව. Show all posts
Showing posts with label පළවෙනි පෝස්ටුව. Show all posts

Saturday, February 15, 2014

නමෝ විත්තියෙන් පටන් ගත්තා එහෙනම්!


නමෝ විත්තියෙන්ම අළුත්ම අළුත් බ්ලොග් එකේ කුළුඳුල් පෝස්ටුව මොකක් ගැනද දාන්නෙ කියලා හිත හිත ඉන්නකොට හිතුනා..මේ වගේ හැම කටයුත්තකදිම වගේ ආශිර්වාදෙ ලබාගන්න සරස්වතී මෑණියන් ගැන පොඩි විස්තරේකින් පටන් ගත්තොත් හොඳයි කියලා.විස්තරේට කලින් පොඩි පෙරවදනක් තියෙනවා ඔන්න.

අච්චාරු කඩයක් උනත් පිළිවෙලකට විවෘත කරන්න එපායැ.මුලින්ම උත්සව සභාවට පැමිණ සිටින සියළුම සම්භාවනීය අමුත්තන්ගෙන් අවරසයි.බ්ලොග් එකක් පටන් ගන්න ලොකු අදහසක් තිබුනෙ නැති උනාට මියැසියේ රස කතා බ්ලොග් එක ලියන  සිංදුවා අයියණ්ඩියි මෝරා මලයයි තවය තව අයයි දහ පාලොස් පාරක්ම කිවුව නිසාත් ලියන්න ආසාවක් තියෙන නිසාත් මටත් හිතුනා කඩයක්... ආ නෑ නෑ බ්ලොග් එකක් පටන් ගන්න.ආන්න ඒ නිසා මම සිංදුවා මහතාට ආරාධනා කරනවා පොල්තෙල් පහන දල්වන ලෙසට.‍

පොල්තෙල් පහනේ තව කෑල්ලක් දල්වන්න මාතලන්ගේ සින්ඩියේ මාතලන් සර් තුමාටත් ආරාධනා කොරනවා.බ්ලොග හදන්න සියළු උපදෙස් මාතලං මහතාගේ බොලොග් පන්තියෙන් ඕං.

ස්තුති කතා අනන් මනන් එච්චරයි.අළුතෙන් පටන් ගත්ත මගේ බ්ලොග් පැටික්කිට සරසවි මෑනියන්ගේ පිහිටයි ආශිර්වාදයයි..කියලා පොඩි කතන්දර දෙකක් කොටන්නම් ඈ.
                                                                                            
                                   
   



බ්‍රහ්මණී, සාවිත්‍රී ,පුත්කාරී , මහේෂ්වරී,බ්‍රහ්මී , භාරතී, වාග්දේවී , වාගේෂ්වරී,වීණාධාරී , ගීදේවී, හංසවාහිනී,සාරදා වගේ බොහෝ නම් වලින් හඳුන්වන සරස්වතී මෑණියො ශ්වේත වර්ණයෙන් සැරසිලා සුදු නෙළුමක් මත වාඩිවෙලා ඉන්න ඉතා රූමත් කාන්තාවක් කියලයි හැඳින්වෙන්නෙ.අත් සතරකින් යුත් මෙතුමියගෙ අත් සතරෙන් මිනිසාගේ පෞරුෂයේ පැතිකඩ හතරන් වන මනස,ආධ්‍යාත්මය,සිහිය,ආත්මාර්ථය නිරූපිතයි කියල කියන අතරෙ සෘග්,යජුර්,සාම,අථර්වන් යන සතර වේදයන් නිරූපිතයි කියලා මතවාදෙකුත් තියෙනවා.

මෙතුමිය ගැන ගොඩක් විස්තර තිබුනත් ‍ බොහොම අපූරු කතා පුවත් එහෙමත් තියෙනවා.එයින් දෙකක් ලියන්නම්.හැබැයි විහිළු තහළු කෑලි නැතුව තමයි ලියන්නෙ දෙයියො එක්ක විහිළු කරන්න පොඩ්ඩක් බය හින්දා.

ඔන්න පුරාණ දේව කතාවල තියෙන විදිහට සරස්වතිය විෂ්ණු මහා දේවොත්තමයානන් වහන්සේගේ බිරිඳක් වෙලා ඉඳලා තියෙනවා.බිරිඳක් කියන්නෙ විෂ්ණු දෙවියන්ට බිරින්දෑවරු තිදෙනෙක් හිටපු නිසා.ඒ තමයි..සරස්වතී දේවිය,ගංගා දේවිය සහ ලක්ෂ්මී දේවිය.ඔන්න ඉතිං මේ භාර්යාවන් තුන්දෙනා අතරෙ නිතර නිතර ආරවුල් ඇති වෙලා තියෙනවා.ඒක නිසා අන්තිමේදි මේ ආරවුල් බේරන්න විෂ්ණු දෙවියො ලක්ෂ්මි දේවිය තමන්‍ ගාව තියාගෙන ගංගා දේවිය ශිවටත්,සරස්වතිය මහබඹුටත් භාර කලාලු.මහ බ්‍රහ්මයාගේ වාහනය වන හංසයා සරස්වතියට ලැබුනෙ ඒ විදිහට කියලත් කියනවා.

සමහරවිට මේ ආරවුල් නිසා වෙන්න ඇති නේද මිනිස්සු අතරෙ කතාවක් තියෙන්නෙ ලක්ෂ්මියත් සරස්වතියත් එක තැනක වෙසෙන්නෙ නෑ කියලා.ඒ කතාවෙ ඇත්තක් නැත්තෙමත් නෑ බලාගෙන යද්දි.මුදල් ඉස්සරහට එද්දි කලාව වලපල්ලට යන්නෙ ඒක නිසාද දන්නෙත් නෑනේ..

ඔය වගේ තවත් කතාවක් තියනවා ඔන්න.

ඔයගොල්ලො හැමෝම දන්නවනෙ කුම්භකර්ණව. වතාවක් ඔහු මහා බ්‍රහ්මයගෙන් වරමක් ඉල්ලනවා නොමැරී ඉන්න.මේ වරය ලබාගන්න කුම්භකරණට සිදුවෙනවා උග්‍ර තපස් වෘත රකින්න.ඒත් මහා බ්‍රහ්මයා කුම්භකරණට වරය නොදී ඉන්න තමයි හිතාගෙන හිටියෙ.හැබැයි කුම්භකරණ දිගටම තපස් රකිනකොට ඒ තවුස්දම් බලයෙන් මුළු තුන් ලෝකයට දරා ගන්න බැරි තරම් රස්නයක් ඇති උනා.මේ රස්නය නිසා දේව මණ්ඩලය පවා කැලඹීමට පත් උනා.

මේ නිසා මහා බ්‍රහ්මයා හොඳට කල්පනා කරලා සැලැස්මක් හදාගත්තා.ඒ සැලැස්මට උදවු වෙන්න කියලා සරස්වතියට කිවුවා.සරස්වතියට තිබුනු රාජකාරිය තමයි කුම්භකරණ මහබඹුගෙන් වරම ඉල්ලද්දි කුම්භකරණගෙ දිවට ආරූඪ වෙලා වචන පටලවන එක.සරස්වතිය ඒ වැඩේ හරියටම කලා.ඒ නිසා අමරණිය වෙන්න ආපු කුම්භකරණට උනේ සදාකාලික නින්දකට වැටෙන්න.පසු කාලීනම මහ බඹු දඬුවම ලිහිල් කරලා මාස හයක් නින්දත් මාස හයක් අවදියෙන් ඉන්නත් සැලැස්සුවලු

හැබැයි කුම්භකරණ කවදාවත් දැනගෙන නෑ සරස්වතිය තමන්ගෙ දිවට ආරූඪ උනා කියලා.

ඕන්න ඔහොම කිවුවට...සකල කලාවටම වගේම අධ්‍යාපනයටත් බැලුම් හෙළන සරස්වතී මෑණියන්ගෙන් සෑම කලා කටයුත්තකදිමත්,දරුවන්ගෙ අධ්‍යාපන කටයුතු වලදිත් ආශිර්වාදය ලබාගන්න එක අදත් සුලබ දෙයක්.

ෂඩ් භාෂා පරමේෂ්වර තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවොත් සරස්වතී වරම් ලබා ගත්තා කියලා කියනවා.

එහෙනම් ඔන්න පලවෙනි පෝස්ටුව නිසා පොඩි පෝස්ටුවක් කෙටුවා

මේ කන්නලවු කවියත් කියලා මගේ බ්ලොග් එකට වගේම කියවන ඔබ හැමෝටමත් සරස්වතී මෑණියන්ගෙ ආශිර්වාදය ලැබෙන්න කියලා හදවතින් පතන ගමන් අදට ගිහින් එන්නම්!

                                දැනුම් සවි සිහි සවි
                                බස සවි සිත් කලා සවි
                                සතර කවි සරසවි
                                මවුනි මට දුන මැනව සිවු සවි


read more ››