Sunday, October 5, 2014

තවත් ගැහැණියක්

මට බයයි විමූ.

අනේ ඇයි ඒ?

මට බයයි විමූ ඔයාට මාව දරාගන්න බැරිවෙයි කියලා

ඔයා අවුරුදු 3ක් තිස්සෙ ඕකම කියනවනෙ දෙනෙත් අයියෙ. පිස්සු කොල්ලා.

පිස්සුවක් තමයි විමූ.මම ඔයා නිසා පිස්සු වැටිලා ඉන්නෙ.

ඉතිං ළමයෝ මේ මම ඉන්නෙ.මොකටද බය වෙන්නෙ?ඔයාට මාව සැකද?

පිස්සුද විමූ  හීනෙන්වත් නෑ.මට ඔයා තාම පාන්දරක පිණි වැටිච්ච පුංචි සමන් පිච්ච මලක් වගේ.ඒත් මම? මම මහ ගොරෝසු මිනිහෙක් විමූ.මට බයයි ඔයාට මම රළු වැඩිවෙයි කියලා.

දෙනෙත් අයියෙ මම කවදාවත් ප්‍රශ්න කරල නෑනෙ ඔයා ඔය පිළිකුල් කරන  ඔයාගෙම අතීතය ගැන.ඒ ඒව මට වැඩක් නැති නිසා.දැන් ඉන්න දෙනෙත් අයියට මම ආදරෙයි.මට ඕන එයාව විතරයි.ඒ මදිද?

ඔයා දැන් ප්‍රශ්න නොකරන එකටයි බය විමූ.ඔයා කවදහරි ප්‍රශ්න කළොත්? ඒ උත්තරේ ඔයාට සැර වැඩි උනොත්? .ඔයා ගන්න තීරණේ මම බයෙන් ඉන්න විදිහෙ එකක් උනොත්? මට මුළු ලෝකෙම නැති වෙයි විමූ.

මට මීට වඩා ඔයාට තේරුම් කරන්න බෑ අයියෙ.හ්ම්ම්ම්ම....

“ඕ..කේ.. කට්!”

“එක්ලන්ට් සදිනි.ඔයා සෑහෙන ඉක්මනට ඉම්පෲ වෙනවනෙ.ඔයාට මේ ‍ෆීල්ඩ් එක ඇතුලෙ සෑහෙන ගමනක් යන්න පුළුවන්.රඟපෑම යනු රඟ නොපා සිටීමයි.මතකනෙ?”

ඒ දමින්ද සූරියආරච්චි හෙවත් අධ්‍යක්ෂකතුමාගේ තෘප්තිමත් හඩයි..

“අදට වැඩ ඉවරයි.පැකප්!”

“සහන්, සදිනි දෙන්නගෙම නෙක්ස්ට් මන්ත් ෂෙඩියුල් එක ඇසිස්ටන්ට්ගෙන් ගන්න.සදිනි දැන් යනවනෙ.එන්න මම ඩ්‍රොප් කරන්නම්.”

ම්ම්ම..මම වොෂ් රූම් එකටත් ගිහින්ම එන්නම්,යමු.

ඕකේ. ‍

අපි ගියා සහන්

සහන් හිස සලා මඳ සිනාවක් පෑවේය.

“මාත් යන්නම් සහන්.සී යූ”  ඇයත් නික්මුනාය.

“ඔය මිනිහා තමන්ගෙ ගෑනිවවත් ඔය කාර් එකේ දාගෙන ගිහින් නැතුව ඇති අළුත් නිළියො දාගෙන යන තරම්.ඒවටම හරියන ගෑනු.මට දුක ඔච්චර උගත් සදීපටවත් මොළයක් නැති එක.”

ඔහුගේ හ‍ඬින් පළවූ පිළිකුලම , ඝන ඇහි බැමින් සෙවණ වූ දෑස් තුලට එබුනානම් අඩු නැතිව දැකගන්නට තිබුනි.සහන් එය මිමිණුවේ සෙමින් වුවත් ඔහු අසලම සිටි ජයන්ත,එනම් රූගත කිරීමේ බඩු බාහිරාදිය රැගෙන යාමට පැමිනි  ක්ෂේත්‍රයේම සඟයාගේ තියුණු සවනට නම් එය රහසක් නොවීය.

“සර් මම සර්ට රහසක් කියන්නද?”

“ඒ මොකද්ද අප්පේ?”

“සදිනි මිස් හැමෝටම කියන්නෙ අම්මා තාත්තා පොඩිකාලෙම නැති උනා නැන්දා ගාව හැදුනෙ කියලනෙ.ඒත් ඔය මිස් ගැන මිස්ගෙ මහගෙවල් පැත්තෙ මිනිස්සු කියන කතා නම් හරි අමුතුයි”

“ඇයි ජයන්ත එහෙම කියන්නෙ?” ඔහු විමසුවේ යම් කුහුලකින් යුක්තවය.

“ඔය සදිනි මිස් අපේ නෝනගෙ ගමේ ගෙවල් අහල පහල ඉඳලා තියෙන්නෙ. කටුනේරියෙ. ඔය සදිනි මිස්ගෙ තාත්තා ඒ දවස්වල ඒ කියන්නෙ දැනට අවුරුදු 3කට විතර කලින් ඔය පැත්තෙ හිටපු ලොකුම සල්ලිකාරයෙක්ලු.පවුලෙ ඉඳලා තියෙන්නෙ ඔය මිසුයි තව මිස්ට වැඩිමල් පිරිමි ළමයි දෙන්නෙකුයි.පවුලෙ බිස්නස් නෙට්වර්ක් එකක්ම තිබුනලු.අහල පහල එක්කත් හොඳින් ඉඳලා තියෙනවා.හොඳ වැදගත් පවුලක්ලු.අතට පයට වැඩකාරයො,යාන වාහන කිසි දේකින් අඩුවක් තිබිලා නෑ.ඔය මිස් ඒ කාලේ කැම්පසුත් තේරිලානෙ ඉඳලා තියෙන්නෙ.

ඒත්  මිස් එකපාරටම ගෙදරින් අතුරුදහන් වෙලා තියනවා.අහන අයට කියල තියෙන්නෙ රට ගියා කියලා.ඊට මාස දෙකකට විතර පස්සෙ ඔය ගෙදර මරණයක් සිද්ධ වෙලා.වැඩිමල්ම පිරිමි ළමය එල්ලිලා මැරිලා.පස්සෙ මරණ

පරීක්ෂණ වලින් ඔප්පු වෙලා තියෙනවා කවුරුහරි මරල එල්ලලා කියලා.ලොකු ලොකු තැන් එක්ක තියෙන කනෙක්ෂන් නිසා කතාවෙ ඇත්ත නැත්ත ලීක් කරල නෑ.මරණෙන් මාස දෙකකට විතර පස්සෙ ගෙවල් දොරවල් සේරම විකුණලා හැමෝම යන්න ගිහින්.ගෙයි සේරම බඩු මුට්ටුත් එක්කමයි විකුණලා තියෙන්නෙ.එදා ඉඳලා අවුරුදු දෙකකට පස්සෙ තමයි සදිනි මිස්ව අපේ නෝනලා ටීවී එකේ ඇඩ් එකකදි මුලින්ම දැකල තියෙන්නෙ.දැනටත් අගක් මුලක් දන්නෙ නෑ කතාවෙ.

හරි පුදුමයි නේද සර්.සර් මේවා කාටවත් නොකියන බව දන්න නිසයි මම සර්ට කිවුවෙ.සර් දන්නවනෙ අද මිස් ඉන්න තත්වෙ. මිස් ම තමයි දන්නෙ සිද්ධ වෙච්චි දේවල්.”

දිගු සුසුමකින් ජයන්ත කතාව හමාර කළේය.

“එහෙනම් සර් මාත් යනවා.ඊළඟ ලොකේෂන් බණ්ඩාරවෙල.”

“හොඳයි ජයන්ත ගිහින් එන්න.”

සහන් පැවසුවේ තම හ‍ඬෙහි වූ විස්මය මුසු කුහුල සඟවා ගන්නට පවා උත්සාහයක් නොදරමිනි.

සහන් විමුක්ති විජේවර්ධන ට  නිකොලා සදිනි ෆර්නෑන්ඩෝ  මුලින්ම මුණගැසුනේ වෙළඳ දැන්වීමක රූපගත කිරීමකදී බව සහන්ට නිතැතින්ම සිහි විය.ඒ දැනට වසර දෙකකට පමණ පෙර විය යුතුය.සහන්ට ජයන්තගේ කතාව විස්මයක් හා කුහුලක් ගෙන ඒමට සාධාරණ හේතු නැතිවා නොවේ.

සහන් යනු සාමාන්‍යයෙන් නිළියන් ද ඇතුළුව ක්ෂේත්‍රයේ කිසිම අයෙක් සමඟ  වෘත්තීය මට්ටමෙන් එහා සම්බන්ධතා පවත්වා ගැනීමට අකමැති පුද්ගලයෙකි.එය ඔහුගේ ආඩම්බරකම හෝ කුහකකමක් නොව ක්ෂේත්‍රය තුළ ප්‍රශ්න වලින් තොරව සමබරව පැවතීමට ගන්නා උපක්‍රමය බවට ඔහු ගැන දන්නා සැවොම සාක්ෂි දරති.සෙට් එකේදී ඔහු ඉතා සුහද සැහැල්ලු පුද්ගලයෙකි.නවකයන්ට අත හිත දෙන්නෙකි.නමුත් බඩ බැඳගෙන ආශ්‍රය කරන මිතුරු මිතුරියන් ඔහුට ක්ෂේත්‍රය තුළ ඇත්නම් ඒ ඉතා අතළොස්සකි.

නමුත් සදිනි වූ කලී මො‍හුගේ එම ප්‍රතිපත්තිය තුළින් අපගමනය වූ අතළොස්සෙන් කෙනෙකි.

 සදිනි පළමුව මුනගැසුනු දින ඔවුන් දෙදෙන රූගත කිරිමට පෙර වචනයකට දෙකකට වඩා කතා කර තිබුනේ නැත.පළමු දර්ශනයෙන් පසු සහන් ක්‍රියාවිරහිත කර තිබූ ජංගමය ක්‍රියාත්මක කලේය.තිරයේ ලොකු අක්කාගෙන් මිස් කෝල් ඇලට් 3ක් ලැබි ඇති බව පෙන්වයි.ඔහු වහාම ඊට ප්‍රතිඇමතුමක් ගන්නට සූදානම් වන විටම නැවත දුරකථනය නාද විය.

“කියන්න අක්කෙ.ෂූට් එකක හිටපු නිසා ඕෆ් කරල තිබුනෙ”

“මල්ලි මම අයියා.අක්කගෙ ෆෝන් එකෙන් ගත්තෙ.පොඩි හදිස්සියක්.ඒත් කලබල වෙන්නෙපා.චූටි අක්කා ඇක්සිඩන්ට් වෙලා.අපි මේ හොස්පිට්ල් එකේ.කළුබෝවිලට ගෙනිහින් එතනින් කොළඹට එවුවා.අක්කට දැන් ලේ දෙන්න වෙලා තියෙනවා.අක්කගෙ යාළුවෙක් ඉන්නවා.තව කෙනෙක් ඕන.මල්ලිට පුළුවන් වෙයිද කාවහරි හොයාගන්න?පුළුවන්තරම් ඉක්මනට. ඕ පොසිටිවු.”

අයියා එක හුස්මට කියාගෙන ගියේය.

වික්ෂිප්ත වූ සහන් “හරි අයියෙ මම කොහොමහරි හොයාගෙන ඉක්මනට එන්නම්.” කියමින් ඇමතුම විසන්ධි කළේය.

ඔහුගේ සිතට දැනුනේ බියත් වික්ෂිප්ත භාවයත් මුසු වූ අනියත හැඟීමකි.

ඔහු වහාම අධ්‍යක්ෂවරයා වෙත ගියේය.සිද්ධිය කෙටියෙන් පැහැදිලි කළ්ය.

“ෂහ්! හරි අප්සට් එකනෙ.එහෙනම් සහන් ඉක්මනට පිටත් වෙන්න ෂූට් එක පෝස්පොන්ඩ් කරමු.ලේ දෙන්න කෙනෙක් ඉන්නවද අඳුරන?”

“නෑනෙ මිස්ටර් තිලක්.මම මේ ඒක තමයි කල්පනා කළේ.මගෙ ඔළුව යකාගෙ කම්මල වගේ.”

“මගෙ ගෲප් එකත් බී. අපි සෙට් එකෙන් අහල බලමුද?”

එයට පිළිතුරු ලැබුන් ඒ අසලම සිටි සදිනිගෙනි.

“සර් මොකක්හරි ප්‍රශ්නයක්ද?”

“ඔවු දරුවො.සහන්ගෙ අක්කා ඇක්සිඩන්ට් වෙලා.ලේ දෙන්න කෙනෙක් හොයන්න වෙලා.ඕ පොසිටිවු.”

“ආ සර් මට..පුළුවන්.මමත් ඕ පොසිටිවු.”

සහන්ගේ මුහුනේ යන්තම් සැනසිලි ස්වභාවයක් මතු විය.

“අනේ සදිනි ඔයාට පුළුවන්ද මාත් එක්ක දැන් යන්න එන්න?”

“ඔවු මම එන්නම්.මම කලින් ලේ දීලත් තියෙනවා.”

“හරි සහන් ඉක්මන් කරලා යන්න.” අධ්‍යක්ෂකවරයා පැවසීය.

එදායින් ඇරඹි සහන් සදිනි මිත්‍රත්වය තවමත් ඇදයක් පළුද්දක් නැතිවම ගලාගෙන යයි.

නමුත් මේ වනතෙක් කිසිම දිනක සදිනි ඇගේ පෞද්ගලික ජීවිතය ඔහුට පවසා නැත.ඒ පිළිබඳව කතාවක් මතුවද්දීම ඇය එය මඟහරින බව සහන්ට වැටහී තිබුනේ වරක් දෙවරක් නොවේ.මෙහි සැඟවුනු කතාව දැනගැනීමට ඔහු තුළ වූ කුතුහලයට පොහොර වැටුනේ ජයන්තගේ කතාවෙනි.නමුත් ඒ ගැන සදිනිගෙන් කෙලින්ම ඇසීමටත් නොහැක.

ඒ පිළිබඳ කල්පනාවෙන්ම ඔහු හිඳගෙන උන් තැනින් නැඟී යන්නට සැරසුනේය.එකෙනෙහිම ජංගමය නාද විය.කෙටි පණිවිඩයකි.

Wanna  meet u.
if possible  it is better  tomrw  btween  9 – 10 am at mc.
සදිනි!

“මේකිට ටෙලිපතිවත් තියෙනවද.කෝල් එකක් දීලා බලමු හදිස්සියෙ මොකෝ දන්නෑ.”  ඔහු තමාටම කියා ගනිමින් ඇමතුමක් ගත්තේය.

ඔබ ඇමතූ ජංගම දුරකථනය මෙම අවස්ථාවේ සම්බන්ධ කළ නොහැක...

“ෂික්! ඕෆ් නෙ.පස්සෙ අරන් බලමු.එක්කො ගිහින්ම බලනවා.”

යයි සිතාගත් ඔහු මෝටර් රථය වෙත නැඟුනේ සුව නින්දක් පතා නිවසට යන අටියෙනි.

ඔරලෝසුව රාත්‍රී  9 හෝරාව දක්වන විට ,කෙටි රාත්‍රී ආහාරයක්ද ගෙන නින්ද පතා සයනයට වැදුණු ඔහු පසුදා උදෑසන 8.30 වන විට සදිනි හමුවීමට යාමට හැඳ පැළඳ සූදානම්ව සිටියේය.නියමිතම වේලාව දැනගැන්මට ඇයව සම්බන්ධ කරගැනීමට දැරූ උත්සාහය එවර නම් සාර්ථක විය.

“මොකද්ද හලෝ ෆෝන් එකත් ඕෆ් කරගෙන.හදිස්සියක්ද?කීයටද එන්නෙ?”

“හදිස්සියක්මත් නෙමේ.ආවම කියන්නම්.9.30 වෙද්දි මම එතන”

“ඔ.කේ.දෙන් සී යූ”

9.40පමණ වනවිට  කොනක තිබූ මේසයක බැරෑරුම් පෙනුමක් සහිතව සදිනිද ඇයට මුහුණලා කුතුහලයෙන් යුතුව සහන්ද අසුන්ගෙන සිටියේය.

“දැන්වත් කියන්නකො මොකද්ද ප්‍රශ්නෙ?”

විනාඩියක දෙකක දරුණු නිශ්ශබ්දතාවය බිඳ දැමුවේ සහන් ය.

“ප්‍රශ්නයක් විසඳන්නයි එන්න කිවුවෙ”
“හ්ම් ඒකත් එහෙමද?කියමුකො බලන්න .අගේ කළා ඇති ඔය.” හිස මඳක් ඇල කරමින් සහන් මඳ සිනා පෑවේය.

“ ඊයෙ ෂූට් එක ඉවරවෙලා මම පහළට ගියාට ආයෙ ටිකකින් උඩට ආවා මගෙ කූලින් ග්ලාසස් එතන තියනවද බලන්න.රූම් එක ඇතුලට එන්න හදද්දිමයි මට ඇහුනෙ ජයන්ත මගෙ නම කියනවා.ඒ නිසා මම අහගෙන හිටියා.ඒක මැනර්ස් වලට විරුද්ධ උනත්.මම ආපහු පහළට ආවෙ ටී වී ඇඩ් එකේ මාව දැක්කා කියපු එකෙන් පස්සෙ.”ඇය හඬ විවෘත කළාය.

මෙය නම් සහන් සිහිනෙන්වත් බලාපොරොත්තු වූවක් නොවීය.ඔහු කියන්නේ කුමක්දැයි සිතාගත නොහැකිව මොහොතක ගොළු වීය.ඔහුට පිළිතුරු සපයන්නට අවකාශ නොතබාම ඇය යලි හඬ අවදි කළාය.

“ඔයාටවත් ජයන්තටවත් ඒ ගැන වැරැද්දක් කියන්න තරම් පටු විදිහට හිතන කෙනෙක් නෙමෙයි මම.අනික ජයන්ත ඒ කිවුව හැම දෙයක්ම ඇත්ත. ඔයා දන්නවා මට මේ ‍ෆීල්ඩ් එකේ යාළුවො නෑ.ෆීල්ඩ් එකෙන් පිට උනත් ගොඩක් යාළුවො අඩුයි.අවුරුදු ගානක් පරණ කතාවක් ඔයාට කියන්න මම එන්න කිවුවෙ.ඔයා අහගෙන ඉන්න කැමතිනම් විතරක්.” ඇගේ හ‍ඬෙහි වූයේ ප්‍රශ්නාර්ථයකි.

“ඇත්තම කියනවනම් සදිනි මට ඔයා මොනවහරි නොකියන රහසක් තියෙන බව නොතේරුනා නෙමෙයි.අහන්න තරම් අයිතියක් මට නැති නිසයි, අවස්ථාවක් ලැබුනෙ නැති නිසයි මම අහන්න ගියේ නැත්තෙ.ඔයා ඕනම දෙයක් කියන්න.මම අහගෙන ඉන්නම්.” ඔහු තිර හඬින් පිළිතුරු දුනි.

“හ්ම්...මුලින්ම කියන්න ඕන, අර එල්ලිලා මැරුණා කිවුව අයියා  අපේම අයිය නෙමෙයි.අපේ අම්මටයි තාත්තටයි ගොඩක් කල් යනකල් ළමයි ඉඳලා නැහැ.දුරින් නෑ වෙන දුප්පත් නැන්දා කෙනෙක්ගෙ ළමයෙක් තමයි ඉපදුන ගමන්ම අරන් හදාගෙන තිබුනෙ.අයිය ඉපදෙනකොට නැන්දා නැතිවෙලා.ඒ මාමාත් පහු කාලෙක නැතිවෙලා.අපි දෙන්නා ඉපදෙන්නෙ එයාව අරන් හදාගෙන අවුරුදු 6කට විතර පස්සෙ.මායි පොඩි අයියයි..නිවුන්නු.ඒ කොහොම උනත් එයාට කිසිම වෙනස්කමක් කළේ නෑ කවුරුත්.ඇත්තම කිවුවොත් තාත්තා අපි දෙන්නටම වඩා එයාට ආදරෙයි. පුංචිම කාලෙ ඉඳලා අපේ හැමදෙයක්ම කළේ සර්වන්ට්ස්ලා.තාත්තාගෙ ලෝකෙ බිස්නස් විතරයි.අම්මගෙ ලෝකෙ සමාජ සේවය විතරයි.පොඩි අයිය විතරයි ඒ ගෙදරින් මාව තේරුම්ගත්ත එකම කෙනා.”

ඇය සුසුමක් හෙළා බීම උගුරකින් තොළ කට තෙමාගෙන නැවත කතාව ඇරඹීය.

“ අපේ ගෙදර ඇතුලෙ කොහොම උනත් අහල පහල අයට මේ කිසිම දෙයක් දැනගන්න තිබ්බෙ නෑ.පල්ලියෙ උනත්  අම්මයි තාත්තයි හැම වැඩකම මුල්තැන හිටියා.ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතෙ තමයි” බොහෝ වෙලාවකට පසු ඇගේ මුව කොනකින් සිනහවක් ඇඳී මැකී ගියේය.

“පොඩිම කාලෙ උනත් ලොකු අපිට වඩා වෙනස්.සෙල්ලම් කරද්දිත් අපි දෙන්නා එක පැත්තක් එයා එක පැත්තක්.අපි ටික ටික ලොකු වෙද්දි ඒ කියන්නෙ ඕ.ලෙවල් කරද්දි වගේ ලොකූ තාත්තගෙ බිස්නස් වලටත් ඉන්වෝල්ව් වෙලා හිටියෙ.ඒ කාලෙ ඉඳලම මට තේරුනා එයා මං දිහා බලන්නෙ හරි අමුතු විදිහට කියලා.ඒක අපි දෙන්නටම තේරිලා තිබුනෙ.මම පුළුවන් හැම වෙලාවෙම එයාගෙ ඇස් මඟ ඇරියා.මහ කෑදර බැල්මක් තිබුනෙ.අපිට එයාව අපේම සහෝදරයෙක් උනත් එයාට එහෙම හැඟීමක් තියෙන්න නැතුව ඇති.පොඩි  මේ ගැන ගොඩක් තරහෙන් හිටියෙ.ඒත් අපිට කරන්න දෙයක් තිබුනෙ නෑ.අම්මටයි තාත්තටයි මේ වගේ දෙයක් කියන්න බැරි තරම් එයාලා අපෙන් ඈත් වෙලා හිටියෙ.පස්සෙ ලොකුටත් අපේ අකමැත්ත තේරෙන්න ඇති.”

“ඔහොම කාලයක් කිසිම අවුලක් නැතුව ගෙවිලා ගියා.අපි ඒ ලෙවල් ලියලත් ඉවර උනා කොහොමහරි.රිසල්ට්ස් ඇවිල්ලා මට කැම්පස් යන්න ලකුණු තිබුනා.මගේ එකම ආසාව වෙලා තිබුනෙ ෆැෂන් ඩියසිනර් කෙනෙක් වෙන එක.ඒක ඉගෙනගන්න කැම්පස් යන්න ලොකු ආසාවකින් හිටියෙ මම.ඒත් පොඩිට ඉගෙනගන්න රෂියා යන්න උනා.අන්තිමට මම ගෙදර තනි උනා.තනි වෙන්න වෙන්න ලොකුගෙ බලපෑම් වැඩි උනා.අන්තිමට....”
ඇගේ දකුණත යන්තමින් මිට මෙලවිනි.

 “අම්ම තාත්තා ගෙදර නැති තට්ට තනියම හිටපු දවසක ලොකු අයිය කියලා කටපුරා කියපු තිරිසනා අතින් මම නැත්තටම නැති උනා සහන්” වීදුරුවෙන් පිටතට යොමුවූ ඇගේ දෑස් වලින් පළවූ පිළිකුල මුසු තරහව තේරුම් ගන්නට සහන්ට අමුතු‍ වෙහෙසක් දරන්නට සිදු වූයේ නැත.

“මට ඒ අපරාධෙ කරපු තිරිසනා යන්න ගියා.අම්ම ගෙදර ආවෙ පහුවෙනිදා උදේ.ඒ එනකල්ම මම පිස්සියෙක් වගේ අඬ අඬා හිටියා” යළිත් ඇගේ හඬ යාන්තමට වෙවුලීය.


“මට හිතුනෙම සුයිසයිඩ් කරගන්න. ඒත්..මොකක්හරි බලවේගයක් මාව නැවැත්තුව වෙන්න ඇති සහන්.මේ කිසිදෙයක් පොඩි දැනගෙන හිටියෙ නෑ.අම්මල පොඩිට කියන්න දුන්නෙ නෑ.එයාලට ඕන උනේ අර තිරිසනාවයි පවුලෙ නම්බුවයි රැක ගන්න.ඒ හින්දා මාව ඉක්මනට බන්දලා දෙන්න යෝජනාවක් ගෙනාවා.තාත්තගෙ යාළුවෙක්ගෙ පුතෙක්ට.ලොකු බිස්නස්  කාරයෙක්ට.මට වඩා අවුරුදු 8ක් වැඩිමල්.බැඳලා රට යන්න සේරම ලෑස්තිකලා.මගෙන් කිසිම දෙයක් ඇහුවෙත් නෑ.මම කියන දේවල් කවුරුත් ඇහුවෙත් නෑ. ඉතිං මට ඕන උනා කොහොම හරි මේ මර උගුලෙන් ගැලවෙන්න.මට උදවුවට එකම එක  යාළුවෙක් හිටියා.මම ගෙදරින් පැනලා ගියා ඒ යාළුවා ගාවට.එයා තිඹිරිගස්යාය පැත්තෙ අපාර්ට්මන්ට් එකක හිටියෙ.පැනල යන ඒ තරම් අමාරු උනේ නෑ.වෙනද වගේම නිදහස තිබුනා.සමහරවිට එයාලා හිතන්න නැතුව ඇති මම යයි කියලා.

මම පැනල ගිහින් හැංගිලා හිටියා.මාව ගෙදරින් හොයන්න ඇති.ඒත් මම අහුවුනේ නෑ.පත්තර වලින් දැනගත්තා ලොකු  එල්ලිලා මැරිලා කියලා.ඒත් මම ඒ කතාව විස්වාස කලේ නෑ.මට අන්තිමේ පොඩිව කන්ටෑක්ට් කරගන්න පුළුවන් උනා.එයා සේරම දැනගෙන ලංකාවට ඇවිත්.එයා එකම එක දවසක් මාව හම්බවෙන්න ආවා.ඇවිත් කිවුවා.එයාට කතා කරන්න එපා.මට කරපු දේ පළිය එයා ගත්තා.එයාව හොයන්න එපා කියලා.ඊට පස්සෙ මේ වෙනකොටත් එයා ගැන කිසිම දෙයක් දැනගන්න ලැබුනෙ නෑ.යා‍ළුවා ලවා ගෙවල් පැත්ත සෝදිසි කරල බැලුවම ගෙවල් විකුණලා කියලා දැනගත්තා.

අන්තිමේ මම ආයෙත් ජීවතේ අළුතෙන් පටන් ගන්න,මගේ ටාගට් එකට යන ගමන පටන්ගන්න හිතුවා.ඒ යාළුවත් ඉගෙනගන්න කෙනෙක්.හැබැයි ගොඩක් සල්ලි තියන පවුලක නෙමේ.එයත් හම්බකරල තමා ඉගෙනගත්තෙ.එයා තමයි මට මම මේ කරන ෆැෂන් ඩියසිනින් කෝස් එක හොයලා දුන්නෙත්.කැම්පස් යන්න විදිහක් තිබුනෙ නෑ මගෙ ලියකියවිලි මුකුත්ම නැතුව.අහසින් පාත් උනා වගේ හිටපු මාව මේ කෝස් එකට ඇතුල් කළෙත් යාළුවගෙ ඇඳුනුම්කම් මත.

දැන් ඔයාට හිතෙනවා ඇති මම මේ තත්වෙට වැටුනෙ ඇයි කියලා.එකම හේතුව සල්ලි.මගෙ යාළුවාත් ක්ලබ් ඩාන්සර් කෙනෙක්.එයා තමයි මාව මේ ජොබ් එකට සම්බන්ධ කලේ.ක්ලබ් එකේ ඉන්න අතරෙ තමයි එතනට එන කෙනෙක්ගෙ මාර්ගෙන් ඇක්ට් කරන්න ලැබුනෙ.

මම හීනෙකින්වත් හිතුවෙ නෑ මේ වගේ ජොබ් එකක් කරන්න.ඒත් දැන් මම ඒ  ගැන පසුතැවෙන්නෙ නෑ.මම මුලින් යාළුවගෙ යෝජනාවට කැමති උනේ නෑ.මට ඕන උනා වැදගත් කියලා කියන රස්සාවක් කරන්න.ඒත් ලැබුනෙ නෑ.අකමැත්තෙන් මෙතනට ආවත් මේකෙන් ලැබෙන ගාන වෙන කිසිම ජොබ් එකකින් හොයන්න බැහැ.මම ඉගෙනගන්න,කන්න බොන්න අඳින්න වියදම් කලත් සෑහෙන ගානක් ඉතුරුවෙනවා.ඒත් මම මගේ ටාගට් එකට ගිය ගමන් මේ රස්සාව නවත්තනවා.”

මඳ සිනහවක් පාමින් ඇය දිගු හුස්මකින් ළය සැහැල්ලු කරගත්තාය.ජයග්‍රාහී හැඟුමක් ඇගේ වත යාන්තමින් වසා ගනු සහන් නෙත් දල්වා බලා සිටියේය.

සහන් තවමත් මුනිවත රකින්නේය.ඔහුට මෙය නුපුරුදුය.ඔහුට පුරුදු තමාට සිදුවූ අසාධාරණය හමුවේ විලාප දෙන, සිතින් විඳවන ගැහැනුන්ය.මේ ධෛර්යය ඔහුට අමුත්තකි.ඇය හැඬුවා නම්,තමාව මේ තැනට පත්කලවුන්ට සාප කළා නම් ඔහුට එය පුරුදුය.නමුත් අගේ දෑස් වියළිය.වචන තියුණුය.හඬ ගාම්භීරය. ඒ තෘප්තිමත් වදන්,හැඟීමෙන් තොර දෑස් ඔහුව රැගෙන යන්නේ මනඃකල්පිත ලොවකටය. අහිමිවීමම ජයග්‍රහණයක් සේ දකින ඇය...සැබැවින්ම මඬින ලද හැඟීම් ඇත්තියක්ද එසේත් නැතිනම් හැඟීම්  සඟවා කතා කරන්නියක්ද ? ඔහුට ප්‍රශ්නාර්ථයකි.





28 comments:

  1. පට්ටයි සාශෝ...!! කාලෙකට පස්සෙ ඇවිල්ලා අපිව කරකෝල අතෑරිය නේද?

    ReplyDelete
  2. ලියන්න හම්බවෙන්නැහැ අනේ. දුක තමා. ටන්කූ බස්සියෝ.
    කැර්කිලා නතර උනානෙ?

    ReplyDelete
  3. සෑහෙන්න රස වින්ඳා!

    ReplyDelete
    Replies
    1. ඒනම් එච්චරයි. ටන්කූ කකා

      Delete
  4. කාලෙකින් ඇවිත් සශා , නියම කතාවක්, හොඳින් රසවින්දා

    ReplyDelete
    Replies
    1. ඉස්තුතී පවුලූශා..

      Delete
  5. හාවා හද දකින්න වගේ.. මේ ඇවිත් තියෙන්නේ...

    රස විඳින්න හිතෙන කථාවක්...

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. ලියන්ට ආසයි.ඒ උනාට විදිහක් නෑ නොවැ. ඉස්තුති මෙයා.

      Delete
    2. ඒ මොකෝ ??
      උවමනාව තියේනම් වෙලාව හොයාගන්න හැකි වේවි. සහජයෙන් උරුම වෙන හැකියාවන්ගෙන් ප්‍රයෝජන නොගන්න එක ලොකු අපරාදයක් ... ( දානවා ජයලලිතත් එක්කම හිරේට .. හික්ස් )

      Delete
    3. වෙලාවමත් නෙමෙයි. එන්න එපා ඕවට හරිද වාරියපොල අක්කට කියලා ගස්සන්නෙ

      Delete
  6. එල ද බ්‍රා.
    එල ද බ්‍රා
    එල ද බ්‍රා

    ReplyDelete
  7. එල ද බ්‍රා කිව්වේ ලියවිල්ල. සදිනි පව්

    ReplyDelete
    Replies
    1. පවු නේන්නම්.මේක සත්‍යාසන්න සිදුවිමක්.

      Delete
  8. කතාව ලස්සනයි..... දිගට ම ලියන්න...

    ReplyDelete
    Replies
    1. ස්තුති කුරුටූ,.

      Delete
  9. ගොඩාක් ලස්සන කථාවක් ...!
    ඔය වගේ චරිත බහුතරයක් තුල, ඔය වගේ සැඟවුනු කථාවක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතී සදරු.සදරු ලියන්නෙ නැද්ද???

      Delete
    2. කලින් ලිව්වා. ලාවට වගේ

      කවි අරණ

      Delete
    3. ආයෙ ලියමු.රහ කවි අඩුයිනෙ දැන්

      Delete
  10. ඇත්තටම ‍‍හොදයි කතාව.. සාෂෝ... සදිනි, ජයන්ත කිව්ව ටික අහන් හිටිය එක සාදාරණය කරපු එක ගැනයි මට හිනාගියේ.. කූලින් ග්ලාස් ගන්න ගියා... හැක්.. එළ.. ජය වේවා..

    ReplyDelete
    Replies
    1. හි හී. එහෙම තමා ඉතින්. ජයවේවා දේශකයානනි

      Delete
  11. කතාව ලස්සනයි!

    ඈ බොල ආච්චියෙ, කොහෙද අතුරුදන් වෙන්නෙ? දැන්වත් දිගටම ලියනවැයි??

    ReplyDelete
    Replies
    1. ඉස්තුති ප්‍රියා.
      අතුරුදහන් නෙමෙයි මෙයා ලියන්න විදිහක් නැති අවුලක්. ඉස්සරහට අවුලක් වෙන එකක් නැත.ටන්කූ ඇවිත් යනවට.

      Delete
  12. කතාව ගොඩක් රසවින්දා,සත්‍ය කතාවක්ද?

    ReplyDelete
    Replies
    1. නෑ. සත්‍යාසන්න සිද්දියක්.සහන් මනකල්පිතයි.අන්තිමට සදිනි කියන ටික එහෙම ඇත්ත.

      Delete
  13. පට්ටයි සාසක්ක්....................... වෙන කියන්න දෙයක් නෑ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති මල්ලි

      Delete