Wednesday, October 8, 2014

හායි මෙයාලා.......


                                            




හායි මෙයාලා.........වෙරි ගුඩ් මෝනින් උයාලා ඔක්කෝ...ටම. උම්ම්ම්මා උම්ම්ම්ා

අදත් ඔන්න කිකී ඇවිල්ල ඉන්නවා මූණට මූණ ‍වැඩසටහනත් එක්ක ඔයාල ආස සෝන්ග්ස් ගොඩා..රියකුයි , පට්ට හිනා යන කතා ගොඩකුයි ඒ ව‍ගේම අද අපේ වෙරි ස්පෙෂල් ගෙස්ට් කෙනෙක් ඒ කියන්නෙ අමුත්තෙක් ඉන්නවා.. ඔයාලා හැමෝම ගොඩා..රියක් ආදරේ කරන ඕල් රවුන්ඩර් කෙනෙක්.
 මෙතුමා නටන්න ගයන්න නිවේදනයට රගපාන්න විතරක් නෙමෙයි ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණයටත් ප්‍රසිද්ධ ෆීල්ඩ් එකේ දැවැන්තයෙක්. ඔයාලට පුළුවන්ද ගෙස් කරන්න මේ කවුද කියලා. පුළුවන්නම් කතා තරන්න 0112222222 ට. කතා කරල කැමති සෝන්ග් එකක් රික්වෙස්ට් කරන්න. කැමති කෙනෙක්ව සෝන්ග් එක බලන්න එකතු කරගන්න. ඇන්ඩ් අනදර් තින්ග් ඊස් යූ කැන් ලයික් අස් ෆ්රෝම් අවර් ෆේස්බුක් පේජ් ...
ඔවු.. ඔන්න ඉන්නවා අද අපේ පලවෙනි කෝලර්.. හෙලෝ.. කවුද මී..

හැලෝ.. මම මේ හොරොවුපතානෙන් සිරිසෝම කතා කරන්නෙ.

ඔවු.. සිරිසෝම ඔයා ගෙස් කරනවද අද කවුද අපේ අමුත්තා කියල. හැබැයි ඊට කලින් ඔයාගෙ ටෙලිවිෂන් එකේ සවුන්ඩ් එක චූ..ට්ටක් අඩු කරල එනවද.

ආ හරි හරි අක්කේ අඩුකලා.

ඕ..කේ.. ගුඩ් බෝයි.. නවු කියන්නකො

අක්කේ මම කතා කලේ සිංදුවක් ඉල්ලන්න. අද අපේ නැන්දම්මගෙ උපන්දිනේ.. ඒකට සුබ පතන්නත් ඕන.

හරි ඔන්න...අපි හැමෝමයි චැනල් එක්ස් එකේ කෲ එකයි සේරෝ..මලා ඔයාගෛ නැන්දම්මිට විෂ් කරනවා..හැපි බර්ත්ඩේ කියලා... මොකද්ද ඔයාට ඕන සිංදුව ගුණසෝම?

අක්කෙ මම සිරිසෝම.

ඕ සොරි සිරිසෝම.

මට දෙන්න අක්කේ ශාන් අයියගෙ අළුත්ම සිංදුව. ශාන් අයියට අපි හැමෝම මාර ආසයි අක්කෙ අපි හැමෝම එයාට තමයි එස් එම් එස් ගැහුවෙ. අපි හිතුවෙ එයා දිනයි කියලමයි. අපේ නංගි එයාගෙ කොන්ඩෙටත් මාර ආසයි. මම ශාන් අයියට විෂ් කරනවා මේ වෙලාවෙ. ඒ වගේම චැනල් එක්ස් එකටත් ස්තුති කරනවා නවක ගායන තරු අදුන්නල දීලා ලංකාවට මෙච්චර සේවයක් කිරී ම ගැන.

අ... සිරිසෝම තෑන්ක් යූ වෙරි මච්. ඔයා ඉල්ලන්නේ ශාන්ගෙ පෙරේදා රිලීස් වෙච්ච සෝන්ග් එකද නැත්තං අද රිලීස් වෙච්ච සෝන්ග් එකද?

අක්ක කැමති එකක් දෙන්නකො.ආ අක්කකෙ අද අක්ක හරි... ලස්සනයි. ඔය හෙයාස්ටයිල් එක අක්කට හොදට ගැලපෙනවා.

ඕ.. තෑන්ක්ස් සිරිසෝම..උම්මා....ඕ...කේ.. එහෙනම් සෝන්ග් එකට කට්ටිය එකතු කරගන්නකො

මම එකතු කරගන්නවා මගෙ නැන්දම්මයි, නෝනයි, ලොකු දුවයි, ලොකු දුවගෙ ලොකු පුතයි පොඩි දුවයි, ම‍ගේ පොඩි දුවයි, පොඩි දුවගෙ ඉස්කෝලෙ යාළුවො ටිකයි, පහල ගෙදර රතු බාප්පයි, උඩහ ගෙදර සුදු අක්කයි, මද්දු පුතාගෙ වැඩපලේ කට්ටියයි, එගොඩහ රත්තෙ බාප්පයි, කොටුවෙ ගෙදර ලොකු කෙලී බදින්න ඉන්න කොල්ලගෙ පවුලෙ අයයි, අපේ ටොමියයි, ටොමියගෙ ගෑණී...

හරි නෝටියා මාව එකතු කරගත්තෙ නෑ නේ....ඕකේ.. ඕකේ එහෙනම් අපි ඔය ඔක්කෝ..මල එකතු කරන් සෝන්ග් එක බලමු.

“අහ අහ ජිගි ජිගි චා
අහ අහ ජිගි ජිගි චා
ඔයාව මම දැක්කා බස් එකේ - මං බිමට පැන්නා ජනේලෙන්
මගෙ කොන්ද කැඩුනා - ඔයා බලං හිටියා
අහ අහ ජිගි ජිගි චා අහ අහ ජිගි ජිගි චා
මම ආදරෙයි.. ඔයා ඇයි මට ආ.. දරේ නැත්තේ
මම ලිදේ පනිනවා  - මගෙ සුදු කුක්කු පැටියා
ඔයා එනවද මා එක්ක... අහ අහ ජිගි ජිගි චා අහ අහ ජිගි ජගි චා
නිල්සාරී.................................”

මේ දවස්වල ලංකාවේ සෝන්ග්ස් චාට්ස් වල උඩින්ම තියන ලස්සනම ලස්සන සෝන්ග් එක තමයි අපි ඒ ඔයාලට දුන්නෙ. එහෙනම් අපි දැන් හැරෙමු අපේ ගෙස්ට් දිහාවට. ඔහුගෙ නම නොකිවුවත් දැක්ක ගමන් හැමෝ අදුරනවා.ඔහු තමයි අපේ ප්‍රවීන ආර්ටිස්ට්.. කණිෂ්ක කොඩිතුවක්කු.. එහෙමත් නැත්තම් හැමෝම ආදරේට කතා කරන කොඩී..
මාත් කොඩී කියල කතා කලාට කමක් නෑ නේද? ගුඩ් මෝනින් ඔබතුමාටත්

ගුඩ් මෝනින් කිකී.

අපේ කාල වෙලාවත් එක්ක අපි පුළුළුන් තරමක් අද කතා කරමු. කොහොමද ඉතිං මේ දවස්වල වැඩ කටයුතු.කලා කටයුතු

ඔවු ඇත්තටම මේ දවස්වල හරිම බිසි.. මම ඩිරෙක්ට් කරන ටෙලි ඩ්‍රාමාස් දෙකක් ටෙලිකාස්ට් වෙනවා. එකක් ගෙම්බා අනික නැන්දම්මයි ලේලියි. ගෙම්බා අළුත් මෙගා එක. ඒකට ඉතාම හොද ප්‍රතිචාර දැනටම තියනවා. නැන්දම්මයි ලේලියි එකේ දැන් යන්නෙ 819 වෙනි එපිසෝඩ් එක. ඒකටත් ඉතා හොද ප්‍රතිචාර තියෙනවා. මට රගපාන්න ගොඩක් ආරාධනා එනවා. ඒත් කාර්යබහුල නිසා ඒවා ප්‍රතික්ෂේප කරන්න උනා. ඒ ගැන මම මගේ රසිකයන්ගෙන් සමාව අයදිනවා.

ම්ම්..කොඩී එතකොට නැන්දම්මයි ලේලි අවසන් කරන්න ඉන්නෙ කොටස් කීයකින්ද?

ඇත්තටම මම ඒ ගැන තාම හිතල නෑ ප්‍රධාන නිළිය 5 වෙනි වතාවට මේ එපිසෝඩ් එකේ මාරු උනා. එතැන් පටන් අළුත් කතාවක් වගේ යනවා.

ම්ම්..කොඩී ඔබ මෙතෙක් ආපු ගමන්මග පොඩ්ඩක් අපේ ප්‍රේක්ෂකයන්ට දැනගන්න කිවුවොත්.

ඔවු ඇත්තටම කලාව කියන එක පොඩි කාලෙ ඉදලම මගෙ ඇගේම තිබුන එකක්. මම කලා ජීවිතේ පටන් ගත්තෙත් චැනල් එක්ස් එකෙන්. මම මුලන්ම වයස අවුරුදු 10දි පුංචි තරු ප්‍රෝග්‍රෑම් එකේ අනිතිම 35000 දෙනාට තේරුනා. එතනින් පස්සෙ අවුරුදු 16 වෙනකන්ම මම පුංචි තරු වලට සහභාගී උනත් 20000න් උඩට යන්න බැරි උනා. ඊට පස්සෙ වයස හරි නිසා තරුණ තරු ප්‍රෝග්‍රෑම් එකට ආවා.. ඒකෙන් මට විශාල ජනප්‍රියත්වයක් ලැබුනා. ඒකෙ අන්තිම 25ට වෙනකන් ඇවිත් ඉවත් උනා. ඒකෙදි ඇතිවෙච්ච ඇදුනුම්කම් වලින් ටෙලි නාට්‍යවල පොඩි පොඩි චරිත ඇක්ට් කරලා ඊට පස්සෙ මමම ටෙලි නාට්‍යයක් ඩිරෙක්ට් කරල ප්‍රධාන චරිතෙ ඇක්ට් කලා. ඊට පස්සෙ තරුණ තරු වැඩසටහනේ නිවේදන කටයුතු වලට ආරාධනාවක් හම්බුනා.මේ වෙද්දි නිවේදනයෙන් රංගනයෙන් ඈත් වෙලා අධ්‍යක්ෂණය හා නිශ්පාදනය තමයි කරන්නෙ.

ඔබට සහජ දක්ෂතාවය ඇරුනම මේ ප්‍රෙෆෙෂන්ස් හදාරල තියෙනවද?

පිස්සුද නංගි මේවයෙ මොනවද හදාරන්න තියෙන්නෙ.

ඒ කියන්නෙ කොඩී නිශ්පාදනය හා අධ්‍යක්ෂණයත් ඔය තරම් ලේසිද?

අයියෝ මොකක් කියනවද නංගි

දැන් පදුරකට පයින් ගැහුවොත් නළු නිලි උණ තියන ඔය තරු ප්‍රෝග්‍රෑම් හැට හුටහමාරෙන් එලියට විසිවෙච්ච කෙල්ලො කොල්ලො රොත්තක් අහුලගත්තැහැකි. උන්ට ගෙවන්න ඕනෙත් නෑ..ඕනෙම නම් මුලින් පොඩ්ඩක් ගෙවනවා. සල්ලි ඉල්ලං ආවොත් ඒ චරිතෙ කපනවා. ඊට පස්සෙ උන්ටම කියල ඇදුම් ටිකත් ගෙන්නගන්නවා. මේකප් ආටිස්ට් කෙනෙක් එහෙම පොඩියට සෙට් කරන් ඔය හැම ටෙලියටම ගන්න ගෙයක් දෙකක් සෙට් කරගෙන කැමරා කරන පොඩි ෆර්ම් එකක් අල්ලගත්තම වැඩේ ගොඩ. නන්නත්තාර වෙච්ච අධ්‍යක්ෂක කෙනෙකුත් ගත්තම ඇති ඕනමනම්.නැත්තං ඒකයි තිර රචනයයිත් තමන්ටම කරගත්තැහැකි.

උදේම සෙට් එකට යනවා.කතාව කලින් දවසෙ නවත්තපු තැනින් පටන් අරන් කැමති විදිහට දෙබස් ටිකක් ලියනවා පැය කාලකට සෙට් වෙන්න. පැය බාගෙන් කාලක් ඇඩි නිසා අවුලක් නැහැ. දෙබස් කිවවුට හැමදාම පෙන්නන්නෙ  ගෙදර මිනිස්සු උදේ නැගිටිනවා, මූණ හෝදනවා, කනවා, කනකොට කෙහෙලි ගෙඩිය ලෙලි ගහනවා ජෑම් බෝතලේ අරිනවා වගේ ඒව පෙන්නනවා, ඊට පස්සෙ ගේට්ටුව අරිනවා කාර් එක එලියට දානවා, ඔය ටිකයි රබර් වගේ පවුල් ප්‍රශ්න ටිකකුයි දැමමම නංගි එපිසෝඩ් ලක්ෂයක් උනත් හදන්න බැරියැ.

දැන් කොඩී මිනිස්සු බලනවද ඔහොම හැදුවම/?

අපෝ නැත්තෙ මොකෝ. බලන්නෙම නැත්තං පැය දෙකක් එක දිගට බැලුවොත් තෑගි හම්බවෙන සල්ලි දෙන තරගයක් එහෙම දැමම්ම වැඩේ ගොඩ. අපේ කට්ටිය කාසි ගනන් කර කර ඕව බලනවා.

බ්රේක් එක අතර .
-          
        "නංගි මම අප්සට් මුකුත් කිවුවෙ නෑ නේ. "
       
        නෑ අයියෙ අවුලක් නැහැ. පොඩ්ඩක් ඉන්න අයියෙ මම කෝලර්ස්ලා තුන් හතර දෙනෙක් හොයාගෙන එන්නම්. 
       
     " ඇයි නංගි කෝලර්ස්ල හොයන්නෙ?"
-          
      නැත්තං කවුද අයියෙ වියදම් කරන් මේවට කෝල් කරන්නෙ. ඔය දන්න කියන කෙනෙක්ව ‍දම්මලා වෙන වෙන නම් වලින් කතා කරවනවා.” -

ඔන්න අයියෙ ලයිව් දානවා.

හා..යි අපි නැවතත් මූණට මූණ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක...







read more ››

Sunday, October 5, 2014

තවත් ගැහැණියක්

මට බයයි විමූ.

අනේ ඇයි ඒ?

මට බයයි විමූ ඔයාට මාව දරාගන්න බැරිවෙයි කියලා

ඔයා අවුරුදු 3ක් තිස්සෙ ඕකම කියනවනෙ දෙනෙත් අයියෙ. පිස්සු කොල්ලා.

පිස්සුවක් තමයි විමූ.මම ඔයා නිසා පිස්සු වැටිලා ඉන්නෙ.

ඉතිං ළමයෝ මේ මම ඉන්නෙ.මොකටද බය වෙන්නෙ?ඔයාට මාව සැකද?

පිස්සුද විමූ  හීනෙන්වත් නෑ.මට ඔයා තාම පාන්දරක පිණි වැටිච්ච පුංචි සමන් පිච්ච මලක් වගේ.ඒත් මම? මම මහ ගොරෝසු මිනිහෙක් විමූ.මට බයයි ඔයාට මම රළු වැඩිවෙයි කියලා.

දෙනෙත් අයියෙ මම කවදාවත් ප්‍රශ්න කරල නෑනෙ ඔයා ඔය පිළිකුල් කරන  ඔයාගෙම අතීතය ගැන.ඒ ඒව මට වැඩක් නැති නිසා.දැන් ඉන්න දෙනෙත් අයියට මම ආදරෙයි.මට ඕන එයාව විතරයි.ඒ මදිද?

ඔයා දැන් ප්‍රශ්න නොකරන එකටයි බය විමූ.ඔයා කවදහරි ප්‍රශ්න කළොත්? ඒ උත්තරේ ඔයාට සැර වැඩි උනොත්? .ඔයා ගන්න තීරණේ මම බයෙන් ඉන්න විදිහෙ එකක් උනොත්? මට මුළු ලෝකෙම නැති වෙයි විමූ.

මට මීට වඩා ඔයාට තේරුම් කරන්න බෑ අයියෙ.හ්ම්ම්ම්ම....

“ඕ..කේ.. කට්!”

“එක්ලන්ට් සදිනි.ඔයා සෑහෙන ඉක්මනට ඉම්පෲ වෙනවනෙ.ඔයාට මේ ‍ෆීල්ඩ් එක ඇතුලෙ සෑහෙන ගමනක් යන්න පුළුවන්.රඟපෑම යනු රඟ නොපා සිටීමයි.මතකනෙ?”

ඒ දමින්ද සූරියආරච්චි හෙවත් අධ්‍යක්ෂකතුමාගේ තෘප්තිමත් හඩයි..

“අදට වැඩ ඉවරයි.පැකප්!”

“සහන්, සදිනි දෙන්නගෙම නෙක්ස්ට් මන්ත් ෂෙඩියුල් එක ඇසිස්ටන්ට්ගෙන් ගන්න.සදිනි දැන් යනවනෙ.එන්න මම ඩ්‍රොප් කරන්නම්.”

ම්ම්ම..මම වොෂ් රූම් එකටත් ගිහින්ම එන්නම්,යමු.

ඕකේ. ‍

අපි ගියා සහන්

සහන් හිස සලා මඳ සිනාවක් පෑවේය.

“මාත් යන්නම් සහන්.සී යූ”  ඇයත් නික්මුනාය.

“ඔය මිනිහා තමන්ගෙ ගෑනිවවත් ඔය කාර් එකේ දාගෙන ගිහින් නැතුව ඇති අළුත් නිළියො දාගෙන යන තරම්.ඒවටම හරියන ගෑනු.මට දුක ඔච්චර උගත් සදීපටවත් මොළයක් නැති එක.”

ඔහුගේ හ‍ඬින් පළවූ පිළිකුලම , ඝන ඇහි බැමින් සෙවණ වූ දෑස් තුලට එබුනානම් අඩු නැතිව දැකගන්නට තිබුනි.සහන් එය මිමිණුවේ සෙමින් වුවත් ඔහු අසලම සිටි ජයන්ත,එනම් රූගත කිරීමේ බඩු බාහිරාදිය රැගෙන යාමට පැමිනි  ක්ෂේත්‍රයේම සඟයාගේ තියුණු සවනට නම් එය රහසක් නොවීය.

“සර් මම සර්ට රහසක් කියන්නද?”

“ඒ මොකද්ද අප්පේ?”

“සදිනි මිස් හැමෝටම කියන්නෙ අම්මා තාත්තා පොඩිකාලෙම නැති උනා නැන්දා ගාව හැදුනෙ කියලනෙ.ඒත් ඔය මිස් ගැන මිස්ගෙ මහගෙවල් පැත්තෙ මිනිස්සු කියන කතා නම් හරි අමුතුයි”

“ඇයි ජයන්ත එහෙම කියන්නෙ?” ඔහු විමසුවේ යම් කුහුලකින් යුක්තවය.

“ඔය සදිනි මිස් අපේ නෝනගෙ ගමේ ගෙවල් අහල පහල ඉඳලා තියෙන්නෙ. කටුනේරියෙ. ඔය සදිනි මිස්ගෙ තාත්තා ඒ දවස්වල ඒ කියන්නෙ දැනට අවුරුදු 3කට විතර කලින් ඔය පැත්තෙ හිටපු ලොකුම සල්ලිකාරයෙක්ලු.පවුලෙ ඉඳලා තියෙන්නෙ ඔය මිසුයි තව මිස්ට වැඩිමල් පිරිමි ළමයි දෙන්නෙකුයි.පවුලෙ බිස්නස් නෙට්වර්ක් එකක්ම තිබුනලු.අහල පහල එක්කත් හොඳින් ඉඳලා තියෙනවා.හොඳ වැදගත් පවුලක්ලු.අතට පයට වැඩකාරයො,යාන වාහන කිසි දේකින් අඩුවක් තිබිලා නෑ.ඔය මිස් ඒ කාලේ කැම්පසුත් තේරිලානෙ ඉඳලා තියෙන්නෙ.

ඒත්  මිස් එකපාරටම ගෙදරින් අතුරුදහන් වෙලා තියනවා.අහන අයට කියල තියෙන්නෙ රට ගියා කියලා.ඊට මාස දෙකකට විතර පස්සෙ ඔය ගෙදර මරණයක් සිද්ධ වෙලා.වැඩිමල්ම පිරිමි ළමය එල්ලිලා මැරිලා.පස්සෙ මරණ

පරීක්ෂණ වලින් ඔප්පු වෙලා තියෙනවා කවුරුහරි මරල එල්ලලා කියලා.ලොකු ලොකු තැන් එක්ක තියෙන කනෙක්ෂන් නිසා කතාවෙ ඇත්ත නැත්ත ලීක් කරල නෑ.මරණෙන් මාස දෙකකට විතර පස්සෙ ගෙවල් දොරවල් සේරම විකුණලා හැමෝම යන්න ගිහින්.ගෙයි සේරම බඩු මුට්ටුත් එක්කමයි විකුණලා තියෙන්නෙ.එදා ඉඳලා අවුරුදු දෙකකට පස්සෙ තමයි සදිනි මිස්ව අපේ නෝනලා ටීවී එකේ ඇඩ් එකකදි මුලින්ම දැකල තියෙන්නෙ.දැනටත් අගක් මුලක් දන්නෙ නෑ කතාවෙ.

හරි පුදුමයි නේද සර්.සර් මේවා කාටවත් නොකියන බව දන්න නිසයි මම සර්ට කිවුවෙ.සර් දන්නවනෙ අද මිස් ඉන්න තත්වෙ. මිස් ම තමයි දන්නෙ සිද්ධ වෙච්චි දේවල්.”

දිගු සුසුමකින් ජයන්ත කතාව හමාර කළේය.

“එහෙනම් සර් මාත් යනවා.ඊළඟ ලොකේෂන් බණ්ඩාරවෙල.”

“හොඳයි ජයන්ත ගිහින් එන්න.”

සහන් පැවසුවේ තම හ‍ඬෙහි වූ විස්මය මුසු කුහුල සඟවා ගන්නට පවා උත්සාහයක් නොදරමිනි.

සහන් විමුක්ති විජේවර්ධන ට  නිකොලා සදිනි ෆර්නෑන්ඩෝ  මුලින්ම මුණගැසුනේ වෙළඳ දැන්වීමක රූපගත කිරීමකදී බව සහන්ට නිතැතින්ම සිහි විය.ඒ දැනට වසර දෙකකට පමණ පෙර විය යුතුය.සහන්ට ජයන්තගේ කතාව විස්මයක් හා කුහුලක් ගෙන ඒමට සාධාරණ හේතු නැතිවා නොවේ.

සහන් යනු සාමාන්‍යයෙන් නිළියන් ද ඇතුළුව ක්ෂේත්‍රයේ කිසිම අයෙක් සමඟ  වෘත්තීය මට්ටමෙන් එහා සම්බන්ධතා පවත්වා ගැනීමට අකමැති පුද්ගලයෙකි.එය ඔහුගේ ආඩම්බරකම හෝ කුහකකමක් නොව ක්ෂේත්‍රය තුළ ප්‍රශ්න වලින් තොරව සමබරව පැවතීමට ගන්නා උපක්‍රමය බවට ඔහු ගැන දන්නා සැවොම සාක්ෂි දරති.සෙට් එකේදී ඔහු ඉතා සුහද සැහැල්ලු පුද්ගලයෙකි.නවකයන්ට අත හිත දෙන්නෙකි.නමුත් බඩ බැඳගෙන ආශ්‍රය කරන මිතුරු මිතුරියන් ඔහුට ක්ෂේත්‍රය තුළ ඇත්නම් ඒ ඉතා අතළොස්සකි.

නමුත් සදිනි වූ කලී මො‍හුගේ එම ප්‍රතිපත්තිය තුළින් අපගමනය වූ අතළොස්සෙන් කෙනෙකි.

 සදිනි පළමුව මුනගැසුනු දින ඔවුන් දෙදෙන රූගත කිරිමට පෙර වචනයකට දෙකකට වඩා කතා කර තිබුනේ නැත.පළමු දර්ශනයෙන් පසු සහන් ක්‍රියාවිරහිත කර තිබූ ජංගමය ක්‍රියාත්මක කලේය.තිරයේ ලොකු අක්කාගෙන් මිස් කෝල් ඇලට් 3ක් ලැබි ඇති බව පෙන්වයි.ඔහු වහාම ඊට ප්‍රතිඇමතුමක් ගන්නට සූදානම් වන විටම නැවත දුරකථනය නාද විය.

“කියන්න අක්කෙ.ෂූට් එකක හිටපු නිසා ඕෆ් කරල තිබුනෙ”

“මල්ලි මම අයියා.අක්කගෙ ෆෝන් එකෙන් ගත්තෙ.පොඩි හදිස්සියක්.ඒත් කලබල වෙන්නෙපා.චූටි අක්කා ඇක්සිඩන්ට් වෙලා.අපි මේ හොස්පිට්ල් එකේ.කළුබෝවිලට ගෙනිහින් එතනින් කොළඹට එවුවා.අක්කට දැන් ලේ දෙන්න වෙලා තියෙනවා.අක්කගෙ යාළුවෙක් ඉන්නවා.තව කෙනෙක් ඕන.මල්ලිට පුළුවන් වෙයිද කාවහරි හොයාගන්න?පුළුවන්තරම් ඉක්මනට. ඕ පොසිටිවු.”

අයියා එක හුස්මට කියාගෙන ගියේය.

වික්ෂිප්ත වූ සහන් “හරි අයියෙ මම කොහොමහරි හොයාගෙන ඉක්මනට එන්නම්.” කියමින් ඇමතුම විසන්ධි කළේය.

ඔහුගේ සිතට දැනුනේ බියත් වික්ෂිප්ත භාවයත් මුසු වූ අනියත හැඟීමකි.

ඔහු වහාම අධ්‍යක්ෂවරයා වෙත ගියේය.සිද්ධිය කෙටියෙන් පැහැදිලි කළ්ය.

“ෂහ්! හරි අප්සට් එකනෙ.එහෙනම් සහන් ඉක්මනට පිටත් වෙන්න ෂූට් එක පෝස්පොන්ඩ් කරමු.ලේ දෙන්න කෙනෙක් ඉන්නවද අඳුරන?”

“නෑනෙ මිස්ටර් තිලක්.මම මේ ඒක තමයි කල්පනා කළේ.මගෙ ඔළුව යකාගෙ කම්මල වගේ.”

“මගෙ ගෲප් එකත් බී. අපි සෙට් එකෙන් අහල බලමුද?”

එයට පිළිතුරු ලැබුන් ඒ අසලම සිටි සදිනිගෙනි.

“සර් මොකක්හරි ප්‍රශ්නයක්ද?”

“ඔවු දරුවො.සහන්ගෙ අක්කා ඇක්සිඩන්ට් වෙලා.ලේ දෙන්න කෙනෙක් හොයන්න වෙලා.ඕ පොසිටිවු.”

“ආ සර් මට..පුළුවන්.මමත් ඕ පොසිටිවු.”

සහන්ගේ මුහුනේ යන්තම් සැනසිලි ස්වභාවයක් මතු විය.

“අනේ සදිනි ඔයාට පුළුවන්ද මාත් එක්ක දැන් යන්න එන්න?”

“ඔවු මම එන්නම්.මම කලින් ලේ දීලත් තියෙනවා.”

“හරි සහන් ඉක්මන් කරලා යන්න.” අධ්‍යක්ෂකවරයා පැවසීය.

එදායින් ඇරඹි සහන් සදිනි මිත්‍රත්වය තවමත් ඇදයක් පළුද්දක් නැතිවම ගලාගෙන යයි.

නමුත් මේ වනතෙක් කිසිම දිනක සදිනි ඇගේ පෞද්ගලික ජීවිතය ඔහුට පවසා නැත.ඒ පිළිබඳව කතාවක් මතුවද්දීම ඇය එය මඟහරින බව සහන්ට වැටහී තිබුනේ වරක් දෙවරක් නොවේ.මෙහි සැඟවුනු කතාව දැනගැනීමට ඔහු තුළ වූ කුතුහලයට පොහොර වැටුනේ ජයන්තගේ කතාවෙනි.නමුත් ඒ ගැන සදිනිගෙන් කෙලින්ම ඇසීමටත් නොහැක.

ඒ පිළිබඳ කල්පනාවෙන්ම ඔහු හිඳගෙන උන් තැනින් නැඟී යන්නට සැරසුනේය.එකෙනෙහිම ජංගමය නාද විය.කෙටි පණිවිඩයකි.

Wanna  meet u.
if possible  it is better  tomrw  btween  9 – 10 am at mc.
සදිනි!

“මේකිට ටෙලිපතිවත් තියෙනවද.කෝල් එකක් දීලා බලමු හදිස්සියෙ මොකෝ දන්නෑ.”  ඔහු තමාටම කියා ගනිමින් ඇමතුමක් ගත්තේය.

ඔබ ඇමතූ ජංගම දුරකථනය මෙම අවස්ථාවේ සම්බන්ධ කළ නොහැක...

“ෂික්! ඕෆ් නෙ.පස්සෙ අරන් බලමු.එක්කො ගිහින්ම බලනවා.”

යයි සිතාගත් ඔහු මෝටර් රථය වෙත නැඟුනේ සුව නින්දක් පතා නිවසට යන අටියෙනි.

ඔරලෝසුව රාත්‍රී  9 හෝරාව දක්වන විට ,කෙටි රාත්‍රී ආහාරයක්ද ගෙන නින්ද පතා සයනයට වැදුණු ඔහු පසුදා උදෑසන 8.30 වන විට සදිනි හමුවීමට යාමට හැඳ පැළඳ සූදානම්ව සිටියේය.නියමිතම වේලාව දැනගැන්මට ඇයව සම්බන්ධ කරගැනීමට දැරූ උත්සාහය එවර නම් සාර්ථක විය.

“මොකද්ද හලෝ ෆෝන් එකත් ඕෆ් කරගෙන.හදිස්සියක්ද?කීයටද එන්නෙ?”

“හදිස්සියක්මත් නෙමේ.ආවම කියන්නම්.9.30 වෙද්දි මම එතන”

“ඔ.කේ.දෙන් සී යූ”

9.40පමණ වනවිට  කොනක තිබූ මේසයක බැරෑරුම් පෙනුමක් සහිතව සදිනිද ඇයට මුහුණලා කුතුහලයෙන් යුතුව සහන්ද අසුන්ගෙන සිටියේය.

“දැන්වත් කියන්නකො මොකද්ද ප්‍රශ්නෙ?”

විනාඩියක දෙකක දරුණු නිශ්ශබ්දතාවය බිඳ දැමුවේ සහන් ය.

“ප්‍රශ්නයක් විසඳන්නයි එන්න කිවුවෙ”
“හ්ම් ඒකත් එහෙමද?කියමුකො බලන්න .අගේ කළා ඇති ඔය.” හිස මඳක් ඇල කරමින් සහන් මඳ සිනා පෑවේය.

“ ඊයෙ ෂූට් එක ඉවරවෙලා මම පහළට ගියාට ආයෙ ටිකකින් උඩට ආවා මගෙ කූලින් ග්ලාසස් එතන තියනවද බලන්න.රූම් එක ඇතුලට එන්න හදද්දිමයි මට ඇහුනෙ ජයන්ත මගෙ නම කියනවා.ඒ නිසා මම අහගෙන හිටියා.ඒක මැනර්ස් වලට විරුද්ධ උනත්.මම ආපහු පහළට ආවෙ ටී වී ඇඩ් එකේ මාව දැක්කා කියපු එකෙන් පස්සෙ.”ඇය හඬ විවෘත කළාය.

මෙය නම් සහන් සිහිනෙන්වත් බලාපොරොත්තු වූවක් නොවීය.ඔහු කියන්නේ කුමක්දැයි සිතාගත නොහැකිව මොහොතක ගොළු වීය.ඔහුට පිළිතුරු සපයන්නට අවකාශ නොතබාම ඇය යලි හඬ අවදි කළාය.

“ඔයාටවත් ජයන්තටවත් ඒ ගැන වැරැද්දක් කියන්න තරම් පටු විදිහට හිතන කෙනෙක් නෙමෙයි මම.අනික ජයන්ත ඒ කිවුව හැම දෙයක්ම ඇත්ත. ඔයා දන්නවා මට මේ ‍ෆීල්ඩ් එකේ යාළුවො නෑ.ෆීල්ඩ් එකෙන් පිට උනත් ගොඩක් යාළුවො අඩුයි.අවුරුදු ගානක් පරණ කතාවක් ඔයාට කියන්න මම එන්න කිවුවෙ.ඔයා අහගෙන ඉන්න කැමතිනම් විතරක්.” ඇගේ හ‍ඬෙහි වූයේ ප්‍රශ්නාර්ථයකි.

“ඇත්තම කියනවනම් සදිනි මට ඔයා මොනවහරි නොකියන රහසක් තියෙන බව නොතේරුනා නෙමෙයි.අහන්න තරම් අයිතියක් මට නැති නිසයි, අවස්ථාවක් ලැබුනෙ නැති නිසයි මම අහන්න ගියේ නැත්තෙ.ඔයා ඕනම දෙයක් කියන්න.මම අහගෙන ඉන්නම්.” ඔහු තිර හඬින් පිළිතුරු දුනි.

“හ්ම්...මුලින්ම කියන්න ඕන, අර එල්ලිලා මැරුණා කිවුව අයියා  අපේම අයිය නෙමෙයි.අපේ අම්මටයි තාත්තටයි ගොඩක් කල් යනකල් ළමයි ඉඳලා නැහැ.දුරින් නෑ වෙන දුප්පත් නැන්දා කෙනෙක්ගෙ ළමයෙක් තමයි ඉපදුන ගමන්ම අරන් හදාගෙන තිබුනෙ.අයිය ඉපදෙනකොට නැන්දා නැතිවෙලා.ඒ මාමාත් පහු කාලෙක නැතිවෙලා.අපි දෙන්නා ඉපදෙන්නෙ එයාව අරන් හදාගෙන අවුරුදු 6කට විතර පස්සෙ.මායි පොඩි අයියයි..නිවුන්නු.ඒ කොහොම උනත් එයාට කිසිම වෙනස්කමක් කළේ නෑ කවුරුත්.ඇත්තම කිවුවොත් තාත්තා අපි දෙන්නටම වඩා එයාට ආදරෙයි. පුංචිම කාලෙ ඉඳලා අපේ හැමදෙයක්ම කළේ සර්වන්ට්ස්ලා.තාත්තාගෙ ලෝකෙ බිස්නස් විතරයි.අම්මගෙ ලෝකෙ සමාජ සේවය විතරයි.පොඩි අයිය විතරයි ඒ ගෙදරින් මාව තේරුම්ගත්ත එකම කෙනා.”

ඇය සුසුමක් හෙළා බීම උගුරකින් තොළ කට තෙමාගෙන නැවත කතාව ඇරඹීය.

“ අපේ ගෙදර ඇතුලෙ කොහොම උනත් අහල පහල අයට මේ කිසිම දෙයක් දැනගන්න තිබ්බෙ නෑ.පල්ලියෙ උනත්  අම්මයි තාත්තයි හැම වැඩකම මුල්තැන හිටියා.ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතෙ තමයි” බොහෝ වෙලාවකට පසු ඇගේ මුව කොනකින් සිනහවක් ඇඳී මැකී ගියේය.

“පොඩිම කාලෙ උනත් ලොකු අපිට වඩා වෙනස්.සෙල්ලම් කරද්දිත් අපි දෙන්නා එක පැත්තක් එයා එක පැත්තක්.අපි ටික ටික ලොකු වෙද්දි ඒ කියන්නෙ ඕ.ලෙවල් කරද්දි වගේ ලොකූ තාත්තගෙ බිස්නස් වලටත් ඉන්වෝල්ව් වෙලා හිටියෙ.ඒ කාලෙ ඉඳලම මට තේරුනා එයා මං දිහා බලන්නෙ හරි අමුතු විදිහට කියලා.ඒක අපි දෙන්නටම තේරිලා තිබුනෙ.මම පුළුවන් හැම වෙලාවෙම එයාගෙ ඇස් මඟ ඇරියා.මහ කෑදර බැල්මක් තිබුනෙ.අපිට එයාව අපේම සහෝදරයෙක් උනත් එයාට එහෙම හැඟීමක් තියෙන්න නැතුව ඇති.පොඩි  මේ ගැන ගොඩක් තරහෙන් හිටියෙ.ඒත් අපිට කරන්න දෙයක් තිබුනෙ නෑ.අම්මටයි තාත්තටයි මේ වගේ දෙයක් කියන්න බැරි තරම් එයාලා අපෙන් ඈත් වෙලා හිටියෙ.පස්සෙ ලොකුටත් අපේ අකමැත්ත තේරෙන්න ඇති.”

“ඔහොම කාලයක් කිසිම අවුලක් නැතුව ගෙවිලා ගියා.අපි ඒ ලෙවල් ලියලත් ඉවර උනා කොහොමහරි.රිසල්ට්ස් ඇවිල්ලා මට කැම්පස් යන්න ලකුණු තිබුනා.මගේ එකම ආසාව වෙලා තිබුනෙ ෆැෂන් ඩියසිනර් කෙනෙක් වෙන එක.ඒක ඉගෙනගන්න කැම්පස් යන්න ලොකු ආසාවකින් හිටියෙ මම.ඒත් පොඩිට ඉගෙනගන්න රෂියා යන්න උනා.අන්තිමට මම ගෙදර තනි උනා.තනි වෙන්න වෙන්න ලොකුගෙ බලපෑම් වැඩි උනා.අන්තිමට....”
ඇගේ දකුණත යන්තමින් මිට මෙලවිනි.

 “අම්ම තාත්තා ගෙදර නැති තට්ට තනියම හිටපු දවසක ලොකු අයිය කියලා කටපුරා කියපු තිරිසනා අතින් මම නැත්තටම නැති උනා සහන්” වීදුරුවෙන් පිටතට යොමුවූ ඇගේ දෑස් වලින් පළවූ පිළිකුල මුසු තරහව තේරුම් ගන්නට සහන්ට අමුතු‍ වෙහෙසක් දරන්නට සිදු වූයේ නැත.

“මට ඒ අපරාධෙ කරපු තිරිසනා යන්න ගියා.අම්ම ගෙදර ආවෙ පහුවෙනිදා උදේ.ඒ එනකල්ම මම පිස්සියෙක් වගේ අඬ අඬා හිටියා” යළිත් ඇගේ හඬ යාන්තමට වෙවුලීය.


“මට හිතුනෙම සුයිසයිඩ් කරගන්න. ඒත්..මොකක්හරි බලවේගයක් මාව නැවැත්තුව වෙන්න ඇති සහන්.මේ කිසිදෙයක් පොඩි දැනගෙන හිටියෙ නෑ.අම්මල පොඩිට කියන්න දුන්නෙ නෑ.එයාලට ඕන උනේ අර තිරිසනාවයි පවුලෙ නම්බුවයි රැක ගන්න.ඒ හින්දා මාව ඉක්මනට බන්දලා දෙන්න යෝජනාවක් ගෙනාවා.තාත්තගෙ යාළුවෙක්ගෙ පුතෙක්ට.ලොකු බිස්නස්  කාරයෙක්ට.මට වඩා අවුරුදු 8ක් වැඩිමල්.බැඳලා රට යන්න සේරම ලෑස්තිකලා.මගෙන් කිසිම දෙයක් ඇහුවෙත් නෑ.මම කියන දේවල් කවුරුත් ඇහුවෙත් නෑ. ඉතිං මට ඕන උනා කොහොම හරි මේ මර උගුලෙන් ගැලවෙන්න.මට උදවුවට එකම එක  යාළුවෙක් හිටියා.මම ගෙදරින් පැනලා ගියා ඒ යාළුවා ගාවට.එයා තිඹිරිගස්යාය පැත්තෙ අපාර්ට්මන්ට් එකක හිටියෙ.පැනල යන ඒ තරම් අමාරු උනේ නෑ.වෙනද වගේම නිදහස තිබුනා.සමහරවිට එයාලා හිතන්න නැතුව ඇති මම යයි කියලා.

මම පැනල ගිහින් හැංගිලා හිටියා.මාව ගෙදරින් හොයන්න ඇති.ඒත් මම අහුවුනේ නෑ.පත්තර වලින් දැනගත්තා ලොකු  එල්ලිලා මැරිලා කියලා.ඒත් මම ඒ කතාව විස්වාස කලේ නෑ.මට අන්තිමේ පොඩිව කන්ටෑක්ට් කරගන්න පුළුවන් උනා.එයා සේරම දැනගෙන ලංකාවට ඇවිත්.එයා එකම එක දවසක් මාව හම්බවෙන්න ආවා.ඇවිත් කිවුවා.එයාට කතා කරන්න එපා.මට කරපු දේ පළිය එයා ගත්තා.එයාව හොයන්න එපා කියලා.ඊට පස්සෙ මේ වෙනකොටත් එයා ගැන කිසිම දෙයක් දැනගන්න ලැබුනෙ නෑ.යා‍ළුවා ලවා ගෙවල් පැත්ත සෝදිසි කරල බැලුවම ගෙවල් විකුණලා කියලා දැනගත්තා.

අන්තිමේ මම ආයෙත් ජීවතේ අළුතෙන් පටන් ගන්න,මගේ ටාගට් එකට යන ගමන පටන්ගන්න හිතුවා.ඒ යාළුවත් ඉගෙනගන්න කෙනෙක්.හැබැයි ගොඩක් සල්ලි තියන පවුලක නෙමේ.එයත් හම්බකරල තමා ඉගෙනගත්තෙ.එයා තමයි මට මම මේ කරන ෆැෂන් ඩියසිනින් කෝස් එක හොයලා දුන්නෙත්.කැම්පස් යන්න විදිහක් තිබුනෙ නෑ මගෙ ලියකියවිලි මුකුත්ම නැතුව.අහසින් පාත් උනා වගේ හිටපු මාව මේ කෝස් එකට ඇතුල් කළෙත් යාළුවගෙ ඇඳුනුම්කම් මත.

දැන් ඔයාට හිතෙනවා ඇති මම මේ තත්වෙට වැටුනෙ ඇයි කියලා.එකම හේතුව සල්ලි.මගෙ යාළුවාත් ක්ලබ් ඩාන්සර් කෙනෙක්.එයා තමයි මාව මේ ජොබ් එකට සම්බන්ධ කලේ.ක්ලබ් එකේ ඉන්න අතරෙ තමයි එතනට එන කෙනෙක්ගෙ මාර්ගෙන් ඇක්ට් කරන්න ලැබුනෙ.

මම හීනෙකින්වත් හිතුවෙ නෑ මේ වගේ ජොබ් එකක් කරන්න.ඒත් දැන් මම ඒ  ගැන පසුතැවෙන්නෙ නෑ.මම මුලින් යාළුවගෙ යෝජනාවට කැමති උනේ නෑ.මට ඕන උනා වැදගත් කියලා කියන රස්සාවක් කරන්න.ඒත් ලැබුනෙ නෑ.අකමැත්තෙන් මෙතනට ආවත් මේකෙන් ලැබෙන ගාන වෙන කිසිම ජොබ් එකකින් හොයන්න බැහැ.මම ඉගෙනගන්න,කන්න බොන්න අඳින්න වියදම් කලත් සෑහෙන ගානක් ඉතුරුවෙනවා.ඒත් මම මගේ ටාගට් එකට ගිය ගමන් මේ රස්සාව නවත්තනවා.”

මඳ සිනහවක් පාමින් ඇය දිගු හුස්මකින් ළය සැහැල්ලු කරගත්තාය.ජයග්‍රාහී හැඟුමක් ඇගේ වත යාන්තමින් වසා ගනු සහන් නෙත් දල්වා බලා සිටියේය.

සහන් තවමත් මුනිවත රකින්නේය.ඔහුට මෙය නුපුරුදුය.ඔහුට පුරුදු තමාට සිදුවූ අසාධාරණය හමුවේ විලාප දෙන, සිතින් විඳවන ගැහැනුන්ය.මේ ධෛර්යය ඔහුට අමුත්තකි.ඇය හැඬුවා නම්,තමාව මේ තැනට පත්කලවුන්ට සාප කළා නම් ඔහුට එය පුරුදුය.නමුත් අගේ දෑස් වියළිය.වචන තියුණුය.හඬ ගාම්භීරය. ඒ තෘප්තිමත් වදන්,හැඟීමෙන් තොර දෑස් ඔහුව රැගෙන යන්නේ මනඃකල්පිත ලොවකටය. අහිමිවීමම ජයග්‍රහණයක් සේ දකින ඇය...සැබැවින්ම මඬින ලද හැඟීම් ඇත්තියක්ද එසේත් නැතිනම් හැඟීම්  සඟවා කතා කරන්නියක්ද ? ඔහුට ප්‍රශ්නාර්ථයකි.





read more ››