Tuesday, February 25, 2014

අධිවේගී හැඟීම්

                                


දුව නැගිටින්න......ඉස්කෝලෙට පරක්කු වෙනා ළමයෝ වෑන් එක එයි.......අම්මා උදෙන්ම ඇහැරෙවුවා...මේ මොන කරුමයක්ද.... නිදාගෙන පැය කීයද... අදත් පන්ති...ඊයෙත් පන්ති....අනිද්දා ටර්ම් ටෙස්ට්....පාඩම් කරලත් නෑ....කලින් පාරත් අල්ලපු ගෙදර ඇන්ටි ලකුණු ඇහුවා....මේ පාර අඩුවුනොත් හිනාවෙයි....“ඔක්කොම බලන් ඉන්නෙ හිනාවෙන්න.....අපි දුක් විඳින්නෙ උඹලට උගන්නන්න”අම්මයි කිවුවෙ.....ආ මේ බස් එකට සල්ලි....මෙන්න කන්න සල්ලි.....ක්ලාස් ඇරුනම තාත්තා එයි....පරිස්සමෙන් යන්න....අම්මට වැඳලා කඩිමුඩියෙ දිවුවා.....ඉස්කෝලෙ ගියා.... “හායි ඩියර්..ඊයෙ ඔයාව ටැග් කරල තිබුණ  ෆෝටෝ එක දැකක්ද?” ......“ආ ඔවු නේ.මරු අනේ අරය කොමෙන්ට් එකකුත් දාලා තිබුනා නේ?”...... “ඔවු අනේ මරු” ......  “මම හවසට ෆොටෝස් ටිකක් දාන්නම් තව ඇති  ඔය ක්ලාස් එකේදි ගත්ත ෆොටෝස්....... කවුරුහරි දැක්කොත් අවුලක් වෙයිද දන්නෑ අනේ .....”   “යුනිෆෝමුත් නෙමෙයිනෙ.....අනික නිකං ක්ලිස් එකේ වාඩිවෙලා ඉන්නවනෙ අනේ...”   මේ ඒක නෙමේ.... “පළවෙනි පාඩම් තුනෙන්ම එනවලු විබාගෙට” ....  “මොකක්? මම තාම අතින් අල්ලලා නෑ දෙවනි පාඩම වෙනකන් විතරයි කියලා හිතුවෙ....”  “ඉස්කෝලෙ හරියට නෝට්ස්වත් දීලා නෑනේ...”   “ක්ලාස් එකේ ඒවා ඇති.......ඒත් අන්තිම ටිකේ හැමදාම නින්ද යනවා අනේ පැය කීයද නිදාගන්නෙ......”  “කියල වැඩක් නෑ අනේ........”  “අද ක්ලාස් එකට ගිහින්ද කන්නෙ?......” “ඔවු නේ ට්‍රැෆික් නෙ ඉක්මනට ක්ලාස් එකට යාගන්න නම් බත් කකා ඉන්න වෙලාවක් නෑනේ.....”  “රෝල් එකක් කාලා මයිලෝ එකක් බොමු....”   “ඔවු වැඩිය කෑවම නිදිමතයිත්නේ...” “යන ගමන් ‍ෆෝන් එකට කාඩ් එකක් ගන්න මතක් කරන්න...” “ මේ ඇහුවද වයි එකේ අළුත් සිංදුව?....”    “නෑ අනේ මම පාඩම් කරන ගමන් ලවු ඩ්‍රීම්ස් ඇහුවා...”   “මාර දුකයි අනේ ඒකෙ ප්‍රසන්ටර් කතා කරන විදිහට හිතටම දැනෙනවා.....”  “අර සෝන්ග් එක ටීවී එකේ ගියා. විෂුවල් එකේ අන්තිමට ගර්ල් එල්ලිලා මැරෙනවා ගෙදරින් අෆෙයා එකට අකමැති නිසා ...”    “ඇයි අර කලින් එකෙත් බෝයි ගඟට පනිනවා නේ?හ්ම් මාර දුකයි නේද අනේ...”  “  හ්ම්..ෆිල්ම් එකක්වත් බලපු කාලයක් මතක නෑ අනේ.අම්මා බලන්න දෙන්නෙත් නෑ එක්සෑම් කියලා....”    “අපෙත් අනේ මැෂින් එක සින්න කරගෙන මල්ලි ගේම්ස් ගහනවාමට යන්තම් පිහිටට ෆෝන් එක විතරයි අනේ එෆ් බී එන්න තියෙන්නෙ...”   “ඒ අර මිස් කිවුව චරිතාපදාන පොත කියෙවුවද?...”  “මොන කතා පොත්ද අනේ තියෙන පොත් ටිකවත් කියවගන්න වෙලාවක් නැති කොට...”   “ඔයා මේ සතියෙ ලංකා ස්ටාර් බැලුවද?...”  “අනේ එපා අනේ මතක් කරද්දිත් කඳුළු එනවා. අරය කැපුනට පස්සෙ ඔය තර‍ඟෙන් ඇති වැඩක් නෑ අනේ...”   “ඒක තමයි මමනම් රිසල්ට් එක කිවුව ගමන් ටීවී එක ඕෆ්කරලා රිමෝට් එකත් දමලා ගහල ගිහින් නිදාගත්තා....”  “ඇත්තටම මට දැන් එපාම වෙලා අනේ තියෙන්නෙ. කිසිම නිදහසක් නැති මේ ජීවිතේ මොකටද අනේ එෆ් බී එකයි අරයයි නැත්තං මේ වෙද්දි පිස්සු හැදිලා මට නම්........”  “ ඔවු අනේ අම්මා රෑට කන්නැද්ද ඇහුවත් තද වෙනවා අනේ මට දැන්...” මම එෆ් බී ගිය ගමන් තමයි කන්න කතා කරන්නෙ...” “ ඒ මදිවට චැට් කරන්න ලේට් උනාම අරයා තරහ වෙනවා...පාඩම් කරන්නත් ඕන....පොත අතට ගත්ත ගමන් නින්ද යනවා....”  “මාත් ඔහොමමයි අනේ.....හැම පැත්තෙන්ම අපි තමයි තැලෙන්නෙ....අනික මේ පත සිලබස් එක කවද ඉවර කරන්නද අනේ.... ඒත් ඒක්සෑම් ඇනුනොත් කොහොමද අම්මලටයි අහළ පහළටයි මූන දෙන්නෙ....”   “මට වෙලාවකට හිතෙනවා ප්‍රශ්න වැඩි‍වෙලා ඔළුව පුපුරයිද කියලා ....”       “අන්න සෙක්ෂන් හෙඩ් එන්න කිවුවා...”  “මට? ඒ මොකටද?ලෙඩක්ද දන්නෙ නෑ තියෙන ප්‍රශ්න මදිවට....”
“ ඔය ළමයා ෆේස් බුක් එකේ ඉන්නවා නේද.......”     “ම්ම්ම..ඔවු සර්......”  “මොනවද අර දාලා තියෙන පින්තූර.....”   “ම්ම් මොනවද සර්?........”   “ඔවු ඔවු ඔයා බබා.....මේ බලනවා.වයස කීයද තාම .....කොල්ලො එක්ක $$%^$ යනවා මදිවට තව ඉස්කෝලෙ නමත් දාගෙන වල් පින්තූර දානවා  $%$%^$%$%^   .........ප්‍රින්සිපලුත් මෙක දන්නවා....හෙට වහාම දෙමවුපියො එක්කන් එන්න ඕන....”   “අනේ සර්.....මේ...”    “හා හා ඇති ඇති වැරැද්ද කරලා මෙතන කියවන්නත් එනවා.........”  යනවා පන්තියට....”   “බලන්න මිස් දැන් හැදෙන එවුන් නම් අන්තිමයි.ශික් අපිනම් මේවගේ පින්තූර අරන් ප්‍රසිද්ධ කරනවා තියා ලඟ තියාගන්නත් බයයිනෙ.අපි ඒ කාලෙ මෙහෙම රවුම් ගැහුවද ? යාළුවෙච්ච කෙනෙක් හිටියත් අපි හැමෝටම හොරෙන් හම්බවෙනවා මිසක්....”  දැන් එවුන්ගෙ  හැදියාව අන්තිමයි......”   “කියල වැඩක් නෑ සර් දැන් හැදෙන උන් දන්නවා වැඩි.මුන්ට සැප වැඩි....”  “අනික එක ඔය ෆේස් බුක්....අපි ඉගෙන ගත්තෙ ඕවා තිබිලද?.........”  
“ඇයි ඇයි මොකද උනේ?........ “  “ඇයි මේ අප්සට් එකේ.......???”       “අර ෆොටෝ එක සර් දැකලා අනේ...”  “වට්? මළා! ඉතිං?......”       “මට තිත්ත කුණුහරපෙන් ස්ටාෆ් රූම් එකේම බැන්නා .....අම්මලා එක්කන් එන්න කිවුව හෙට....”    “විනාසයි! දැන් මොකද කරන්නෙ......?”    “මම දන්නෑ මට තේරෙන්නෑ.මට බෑ අම්මලත් කුණුහරයෙන් බැනුම් අහනවා බලන්න මම නිසා....”     “හ්ම්........ අනේමන්දා ඩියර් මාර කේස් එකනෙ...”   “මම තීරණයක් ගත්තා .අපි බලමුකෝ.මගෙ ඔලුව යකාගෙ කම්මල වගේ.මට ටිකක් තනියම ඉන්න දෙන්න ප්ලීස්..”
අද සිරස්තල
“ෆේස්බුක් සමාජ වෙබ් අඩවි ජාලයේ තම පෙම්වතා සමඟ සිටි පින්තූරයක් පළ කිරීම පිළිබඳව තම ගුරුවරයා‍ දුන් අවවාද ඉවසාගත නොහැකිව පාසල් ශිෂ්‍යාවක් ගෙල වැල ලා‍‍ගෙන සියදිවී නසා ගනී.මේ හේතුව නිසා ෆේස්බුක් සමාජ ජාලය තහනම් කරනා ලෙසට විශාල උද්ඝෝෂන මේ වන විටත්  දියත් වෙමින් පවතී......
  
                         




read more ››

Saturday, February 22, 2014

කඩතිර හැර බලනු මැනේ දෙවොල හිස්වෙලා...




 ගීත දෙකක් නිසා මේ පෝස්ට් එක ලියවෙන්නෙ.එකක් නම් කලින් අහපු එකක් ඒ චන්ද්‍රසේන හෙට්ටිආරච්චි මහතාගේ“සඳුන් කපුරු සුළං රොදේ”

අනික මමනම් පළවෙනි වතාවට ඊයෙ පෙරේදා තමයි ඇහුවෙ.ඒ තමයි නන්දා මාලිනියන්‍‍ගේ “බුදුහිමියන්ටත් කලියුගයේ දෙවියන්ගේ පිහිටයි” ගීතය.

අහල නැත්තං පොඩ්ඩක් අහලම ඉන්න.දෙවනි ගීතය.එය එතරම් ඇහෙන්නෙ නැති නිසා දැම්මෙ.
 
මේකෙ ගීතයට කලින් නන්දා මාලිනියන්ගෙ පොඩි පූර්ව කථනයක් තියෙනවා.

“පොළොන්නරු යුගයේදී විද්‍යා චක්‍රවර්තීන් බුත්සරණ ලිවුවේත්,කෝට්ටේ යුගයේදී වීදාගම හාමුදුරුවන් බුදුගුණ අලංකාරය ලිවුවේත් දේව වාදයෙන් යටපත් වූ බුදුදහම නඟා සිටුවීමටයි.මේ වූ කලී එවන් කෘතියකට හොඳම කාලය එළඹ ඇති බව මතක් කර දීමකි”

කියලා.

ඒ පූර්ව කථනයට පස්සෙ දේවාලෙ යාතිකාවක් වගේ කොටසක් තියෙනවා ඊට පස්සෙ තමයි ගීතය එන්නෙ.ඒ  වචන ටික දාන්නම් අහල තියෙන මතක නැති අයටත් මතක් වෙන්න.

බුදුහිමියන්ටත් කලියුගයේ - දෙවියන්ගේ පිහිටයි
බුදුන්ටත් දෙවියන්ගේ පිහිටයි //

පරවුණු මල් දැක නිවුණු පහන් මැද 
බුදුහිමි තනිවිය බුදුකුටියේ
මල්දම් පළතුරු අගිල් කපුරු මැද
දෙවු රජ වැජඹෙයි දෙවු මැදුරේ

බුදුහිමියන්ටත් කලියුගයේ - දෙවියන්ගේ පිහිටයි
බුදුන්ටත් දෙවියන්ගේ පිහිටයි //

යතියන් පුද දෙන රුපියල් සත ගෙන
රුපුන් නසා දී රැකවරණේ 
දෙවියන් උපයන මුදලින් සුරැකෙයි
බුදුන් දහම් සඟ තුන්සරණේ

බුදුහිමියන්ටත් කලියුගයේ - දෙවියන්ගේ පිහිටයි
බුදුන්ටත් දෙවියන්ගේ පිහිටයි //

 මේ  ගීතය ඇහුවම මට හිතුන පෞද්ගලික අදහස් කීපයක් බෙදාගන්නයි හිතුවෙ.මේ ගැන හැමෝටම තම තමන්ගෙ මතයක් ඇති කියලා හිතනවා.

වරින් වර ලංකාව පාලනය කරපු දමිළ රජවරු නිසා ඔය දේවාල සංකල්පය ලංකාවෙ ස්ථාපිත උනා.ඒත් එක්කම සියවස් ගණනාවක සිට දේවාල සංකල්පය විවිධ මුහුණුවර ගනිමින්  ජනතාව අතරට එකතුඋනා.අද වෙනකොට ඒක බොහෝ දුරට සමාජගත වෙලා තියෙනවා.එහි කිසිම වැරැද්දක් නෑ.වැරැද්ද වෙන්නෙ සමාජගත වෙලා තියෙන විදිහෙ.දේවාල සංකල්පය කොහොම වෙතත් දේව සංකල්පය නම් ඊට ගොඩක් පැරණියි.එය ප්‍රතික්ෂේප කරන්න කොහොමටත් බැහැ.එහෙමනම් බුදුබණත්‍ බොරු වෙන්න ඕන.

අද වෙද්දි දේවාල වැහි වැහැලා.දේවාරූඪයෙන් සාස්තර කියන තැන් වැහි වැහැලා.අපල මුද්දක්,යන්තරයක් දාන්න කියලා නොඅහපු කෙනෙක් නැතුව ඇති.අඇත්තටම ඔය දේවාරූඪයෙන් සාස්තර කියන තැන් කිවුවට දෙවියො වඩින්නෙ නෑ ඔය හැම තැනටම.දේව භක්තියත් එක්ක වැඩිච්ච දේවාල අද වෙද්දි මුදල් මත යැපෙන තත්වෙකට පත්වෙලා.ඔය වගේ අධ්‍යාත්මයට ළඟ දේවල් වලට මුදල් සම්බන්ධ වෙනවා කියන්නෙම එහි වටිනාකම පහළ යාමක්.කණගාටුවට කාරණය නම් බොහෝවිට දේවාල පසුපස යමින් අන්ධ විශ් වාසයක වෙලෙන බොහෝ දෙනා බෞද්ධයන් වීමයි..ඇතැම්විට බුදුදහම යනු ඇදහිල්ලක් නොව දර්ශනයක් නිසාත් අනිත් බොහෝ ප්‍රචලිත ආගම් දෙවි කෙනෙක් මත ඇති විශ්වාසය පදනම් කොට ගොඩනැගුණු නිසාත් බෞද්ධයන් පමණක් බුදුන්ට අමතරව දේව පිහිටක අවශ්‍යතාවය සොයනවා වෙන්න පුළුවන්.

මට දැනෙනා ප්‍රශ්නය නම් පිහිට පැතීම නොවේ.දෙවියන්ගෙන් පිහිටක් ඇති බව මා ඉඳුරාම විස්වාස කරනවා.නමුත් පිහිට ලැබීම සඳහා යා යුත්තේ ඔවැනි මාර්ගයකද යන්න පිළිබඳව ප්‍රශ්නයක් මට තියෙනවා.

උදාහරණයක් විදහට දේවාලයක බාර හාර සඳහා පූජාවට්ටි පූජා කිරීම සලකා බලමු.එහිදී මමම ඇහින් දැකපු කාරණයක් තමයි එම පූජා වට්ටිය පූජා කරන්නන් වෙනුවෙන් දෙවියන්ට යාතිකා කරන කපු මහතා වැඩි මුදලක් පඬුරු ලෙස තබන ලද පූජා වට්ටියට වැඩියෙන් යාතිකා කරන බවත් අනෙක්වාට අඩු බවත්.එයින් ඔහු අදහස් කරන්නේ මුදලේ ප්‍රමාණය මත දේව පිහිට ලැබෙන ප්‍රමාණය අනුලෝම වන බවද?

කතරගම දේවාල පුදබිමට ඔබ හැමෝම වගේ ගිහින් ඇති.ඉස්සර නම් අපි පළතුරු එක්කො සල්ලි දීලා අරගෙන නැත්තං ගෙරද හැදනු ඒවා අරන් ගිහින් අපේ අතින් පිළයෙළ කරපු පූජා වට්ටියක් පූජා කිරීමයි සිදුවූනේ.නමුත් දැන් එතන තියෙනවා එක්තරා ව්‍යාපාරයක් අප මුදල් ගෙවූ විට කඩේ සිටින අයවලුන් විසින් පූජා වට්ටිය සකසා දේවාලය අසලටම ගෙනවිත් දෙනවා.අපිට ඇත්තේ පෝළිමේ ගොස් පිහිට පැතීම පමණයි.තව කාලයක් යද්දි ඔවුන්ගේ නියෝජිතයන්ම අප වෙනුවෙන් පෝළිමේ ගොස් පිහිට පැතීම සිදුවිමටත් ඉඩ තියෙනවා.එතැන අවම වශයෙන් දේව භක්තියවත් නැති බව මගේ හැඟීමයි.
                                     
                                         

 
සුදෝ සුදු රෙද්දකින් තමන්ගෙ හොර මැරකම් සේරම වහගෙන ඇවිත් සරුසාර පූජා වට්ටියක් පූජා කරලා දෙවියන් වඳින කම්බා හොරු,දේශපාලඥයෝ,‍වෙළෙන්දෝ දැකලා ඇති නේ? එසේනම් ඔවුන්ටත් දේව පිහිට ලැබෙනවාද?

ඇත්තටම නම් දෙවියන් යැදීම සිදුවිය යුත්තේ කෙසේද? මා සිතනා ආකාරයට මුලින්ම සිතින් කයින් වගේම වචනයෙනුත් හික්මිලා සිටිය  යුතුයි.ඒ වගේම බෞද්ධයන් නම් බෞද්ධ දර්ශනය අනුව යමින් පින්,කුසල් රැස් කරමින් දෙවියන්ට පිං අනුමෝදන් කිරීමට තරම් සුදුසුකමකින් යුක්ත විය යුතුයි.කරන්නන් වාලේ පෙරළි පෙරළි දෙවියන් වැන්දාට ඇති වැඩක් නැත.කරන තරම් ජඩ වැඩ සියල්ල කරමින් නිවස තුළ දේවාලයක් සාදා  දවස පුරා යාතිකා කළද ලැබෙන පිහිටක් නම් නැති බව මගේ හැඟීමයි.එය හරියටම කළයක් මුනින් හරවා වතුර වත් කිරීමට  සමානය.

පන්සල් යාම පැත්තකින් තියමු.අද බොහෝ දෙනාගේ තර්කයක්නෙ පින් කරන්න පන්සල් යන්නම ඕන නැති බව.ඒත් පුළුවන්තරම් අනුන්ගේ රෙදි ඇද වී ඇති එකම හොයන,.තමන්ගේ ළමයා හැර අනිත් ළමයි දියුණුවෙනවාට අකමඅති,අල්ලපු ගෙදර එකා වාහනයක් ගත්විට ඉරිසියාව කට දෙපැත්තෙන් බේරෙන කී දෙනෙක් දේවාල වඳින්නට යනවාද?ඔවුන්ටත් දෙවි පිහිට ලැබෙනවා යයි කීම මටනම් හාස්‍යයට කරුණක්.

බොහෝ විට දරුවෙක් විභාගයක් සදහා යනවිට සරස්වතියට,ගණ දෙවියන්ට පූජා පැවැත්වීම අද සාමාන්‍ය දෙයක් වී ඇත.මා සිතනා ආකාරයට එහි වරදක් නැත.නිසි ලෙස විභාගයට සූදානම් වී,තම ආගම ධර්මයට අනුගත වී සිටි දරුවකු දේව භක්තිය මුල්කොට එසේ බාරයක් වීමෙන් සිදුවන්නේ එම දරුවාගේ සිතට යම් අධ්‍යාත්මික සුවයක් සමඟ ආශිර්වාදය පිළිබඳ විස්වායක් ඇති වීමයි.ඒ  විස්වාසය ඔහුට විභාගය ජය ගැනීම සදහා ඇත්තටම ඉවහල් වේවි.නමුත් ගණ දෙවියන්ට බාරයක් වූ පමණින් සියල්ල සිදු වන්නේ නෑ.විබාගයට සූදානම් නැතිව, විභාගය නිසාම පමණක් දෙවියන් බුදුන් මතක් වෙන කෙනෙක්නම් පූජා වට්ටි 10ක් දුන්නත්,යන්තර 10ක් බෙල්ලෙ එල්ල ගත්තත් එතන පිහිටක් ඇත්තෙ නැහැ.

 මේ තරම් දෙවියන් වඳින පුදන රටකට ඔය කියනා තරම් දේව බැල්ම වැටුනේ නම් මේ තරම් අපරාධ සිදු වෙන්න බැහැ.උදේ පාන්දර සිට මහ රෑ වෙනතෙක් තර‍ඟෙට සෙත් පිරිත්,දේවාශිර්වාද කවි,දහම් සිතුවිලි ප්‍රචාරය වෙන දවස තිස්සේම බණ කියන, රේඩියෝ චැනල් ටී.වී. චැනල් බර ගානක් තියෙන රටක් මේ වෙද්දි ධර්ම රාජ්‍යයේ පේනතෙක් මානෙකටවත් ඇවිත් නැත්තෙ ඇයි? 

දෙවියන් විකුණා කන සමාජයක් තුළ දෙවියන් වැඩ හිදීවිද?මගේ දැඩි විස්වාසය නම් මෙය සිතත් සමඟ කරනා ගනුදෙනුවක් බැවින් තමාගේ හිත පිරිසිදු නම් ඒ තුළම දෙවියන් වැඩ හිදීවි.තමා නිවැරදි බවට සිතින් සත්‍යක්‍රියාවක් කොට දෙවියන්  සිහිකිරීමෙන් පවා දේව පිහිට ලැබිය හැකි වේවි.කිසිදු දිනක ඔබට නොහැකියි දෙවියන්ව මුදලට ගන්න.ඇත්තටම “පොළව කොටන තැන පාර හදන තැන ගිනියම් අවුවේ මහ වරුසාවේ දෙවියෝ වැඩ ඉන්නේ..බලන් කඩතුරා හැර දෑසේ...” කියලා තමයි කියන්න වෙන්නෙ.

යන්තර,අපල මුදු ගැන එහෙම කියනවනම් කියන්න තියෙන්නෙ අද වෙද්දි, “ ජ්‍යොතිශය කලියුගයේදී මියයයි.අන්ධව යළි උපදී” කියන ප්‍රකාශය සත්‍ය වේගෙන යන බවයි.මම දැක්කා වයලීනෝ අයියා කොහෙහරි කියලා තිබුනා ඉස්සර ජ්‍යොතිශයේ කෙළ පැමිණි අය මේ කාලෙ පුද්ගලයන් ඔය ‍‍වගේ දෙවල්වලින් වැරදි ප්‍රයෝජන ගන්නා නිසා ශාස්ත්‍රය සම්පූර්ණයෙන් ‍මේ පරපුරට ඔවුන් සම්ප්‍රේෂණය කරලා නැහැ කියලා.අද සිද්ධ වෙන දේවල් එක්ක බැලුවම ඒ කතාවනම් ඇත්ත බව වැටහෙනවා.

අපි මේ අන්ධ විස්වාස ගැන කතා කරන්නෙ ;

ෆේස් බුක් එකෙන් බුදුවෙන ,තමා බෝධිසත්ත්වයෙක් යැයි කියාගන්නා මානසික රෝගීන් සිටින කාලෙක.

බුදු හාමුදුරුවන්ගේ කාලෙත් තිබු කැසිනෝ දැන් තිබුනාට කමක් නෑ කියන,තමන් සෝවාන් උන බවට කෑ මොර දෙන ,ජාතිය බේරා ගැනීමට ගිනි තබා ගන්නා “හාමුදුරුවරු” වැඩ සිටින කාලෙක.

භාවනා පන්ති පවත්වමින් මාර්ගඵල ක්ෂනිකව ලබාදෙන සෘෂිවරු වැඩ සිටිනා කාලයක.

බුද්ධ බාර් වල නිරිවාණය මෙනු එකක් වෙන කාලෙක.

කියලත් අමතක කරන්න බැහැ.

අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ පිහිටක් ලැබීමට පෙර ඔබ එය ලැබීමට සුදුස්සෙක් විය යුතුයි.අධි විශ්වායෙන් හෝ අවිශ්වාසයෙන් යන ‍මාර්ග දෙකෙහිම පිහිටක් නැහැ.ආගම දහම මුල් තැන තබා ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින් රකී යන්න වටහා ගත් දිනක හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳී යන්න ඔබට වැටහේවි.

සඳුන් කපුරු සුළං රොදේ පිරුවට ඇඳලා
පැතුම් පඬුරු දෝත දරා දේව යාතිකා
යැදුම් හඬින් කම්පිත වී දිව නෙත් වැසිලා
කඩතිර හැර බලනු මැනේ දෙවොල හිස්වෙලා

කිළිටි දෙපා ගැටුණු බිමේ කහ දිය ඉසලා
රන් කහවනු පුදමින් තටු සිරස තබාලා
සකල දෝස නිවාලන්න යාදිනි ගැයෙනා
කලියුගයේ අරුමය මැද දෙවොල හිස්වෙලා

මුසා වදන් සිත පත්ලේ -සැඟවේ දෙවියන් හමුවේ //
ඉසුරු පතා යදින්නේ මිනිසා කොයිබද යන්නේ

සිලෝ ගීත දෙවියන්ගේ - පහන් සිතට ළං වෙන්නේ
යාදිනි කිම වැළපෙන්නේ සිතමයි දෙවොලක් වෙන්නේ
read more ››

Sunday, February 16, 2014

ලවු සහ හාට්!!

අද තියෙන්නේ අවයව කතාවයි.ඔවු ඔවු හරියට ටයිප් උනා.ලොකු මහත්තයගෙ අයවැය කතාව නෙමේ...අ ව ය ව..මොකද්ද? අවයව.හරි?

අපේ සරීර කූඩුව ඇතුලේ අම්බානකට අවයව ජාති තියෙනවාය.පොඩි සයිස් ඒවා මීඩියම් සයිස් ඒවා මෙන්ම ලොකු සයිස් ඒවාද තියෙනවාය.සරීරයේ ලොකුම අවයවය හම බවත් අභ්‍යන්තර ලොකුම එක අක්මාව බවත් අපිට අපේ ටීචර්ලා උගන්නා තියෙනවාය.ඒවා වගේම වකුගඩුව, බඩවැල,මොළය,හදවත , ප්ලීහාව,උන්ඩුක පුච්ඡය,පෙනහළු  වගේ හෙන ගොඩක් අවයව තියෙනවාය.

සාසා ඒ ගමන කෙහෙම්මල් බයෝ පාඩමක් කොටන්න හදනවාය කියා මට බනින්න එපාය.මම මේ පෝස්ටුව කොටන්නේ  මෙතෙක් කල් අපගේ අවධානයට ලක් නොවී අප වෙනුවෙන් අති උත්කුරුස්ට කාරය භාර්යයක් ඉෂ්ට කරන  අහිංසක වටිනා අවයවයකට තවත් අවයවයක් හා මනුෂ්‍ය වර්ගයා කියන එකා විසින් කරන ලද මහ පොළව නුහුලන අපරාධක් කුමණ්ත්‍රණයක් හෙළි කිරිමේ සේස්ට අරමුණ පෙරදැරිවය.
               
පහුගිය දවස්වල ලංකාවේ කට්ටිය ලවු දිනය කියලා එකක් සැමරුවාය.වැලන්ටයින් අයියා ස්වර්ගයට යන එක අපේ කට්ටිය මාර විදිහට සමරනු බුකියේ වගේම ටීවී එකේත් පෙන්නුවෝය.ලවු දිනයේදී රතු පාට සෝස මල් හෙනට විකිනුනාය.වැලන්ටයින් කාඩ් කියලා ජාතියක්ද තිබ්බෝය.ඒවා වල මේං මේ වගේ  සතුම සතු පාට ලොකු සයිස් හාට් ඇඳලා තිබුනාය.තොරොම්බල් බඩු විකුනන කඩවල් වල මේ මාසේ එක එක පාට එක එක සයිස් හාට් පා උනෝය.

                                               


ටී වී එකේ රබර් නාට්ටි (මෙගා) වලත් හින්දි පිලුම් වලත් ලස්සනට ඇඳගෙන ඉන්න අයියලා අක්කලාට කියන්නේ “මම මගේ මුළු හදවතින්ම උයාට ආදලෙයි.උම්ම්ම උම්ම්ම උම්ම්මමා” කියලාය.හින්දි  ඒවා වල කියන්නෙ”මෙරා ප්යාර් මෙරා සින්දගී.මෙරා දිල් හේ කුචු කුචු හෝතාහේ.පාලග් හේ” කියලාය.

එයින් සාසාට වැටහුනේ ලවු දිනයේදී හාට් එක ඉතා වැදගත් තැනක් ගන්නා බවය.ලවු දිනයේදී අපේ අක්කා (අපේ කිවුවාට මගේ සෙන්ටිමීටර් ගානක් ළඟ නෑදෑයෙකි) ලවු කරන , අක්කාගේ “අයියා” ට  දෙන්නට අක්කා ලොකු හාට් එකක් තියෙන කාඩ් එකක් අරගත්තාය.

සාසා ඉතිං ඔය ලවු ගැන හය හතර නොදන්නා පොඩි එකී නිසා සාසා, අක්කාගෙන් මෙහෙම ඇසුවෙමි.

“අක්කේ ඇයි ලවු දවසට හාට් දෙන්නෙ?”

එවිට අක්කා

“තෝ පල පොඩි උන්ට මොකටද ඕවා $$$%$&^%$%” කියා මා එලවා ගත්තේ නැත.‍ඉතා ආදරයෙන් යුතුව අක්කා සාසාට කරුණු පැහැදිලි කෙරුවාය.

“හාට් එක කියන්නෙ ලවු එකේ සංකේතයයි.පරම පවිත්තර පූජනීය සත්‍ය ලවු එක හෘදය නැමැති සන්තානයේ මරියානා ආගාධය තරං ගැඹුරෙන් බුර බුරා උඩ පැන පැන නැගී මොදු වී මෝරා ඇවිත් (හම්මෝ සත්තු වත්තක්නෙ) මුළු මහත් විස්වය පුරා පැතිරී යන සුන්දර ගින්දර වගේ මෙවුවා එකක්” කියා ඇක්ෂන් දමමින් කීවාය.

ඒ කිවු අටමගල වචන ටික තේරුම් ගන්නට සිංහල සැටිපිකේට් කෝස් එකක්වත් කරන්න ඕනෑ යයි සිත සිතා මම අක්කාට ටැංකුයි කර ඔක්කොම තේරුනා වගේ ආවාය.

සෑහෙන්න බීලා බීලා (වතුර) කල්පනා කළ විට අක්කා කියන එක පොඩ්ඩක් තේරුනාය.එතකොට අක්කා කියන්නේ ලවු එක ඇතිවෙන්නේ හාට් එකේ නිසා ලවු දිනයේ හාට් දෙන බවයි.සාසාගේ ටිකිරි මොළයට එ‍ය අවදාරනය උන ගමන්ම සාසාට මතක් උනේ අපේ බයෝ පොතේ තිබුන පාඩමකි.නෑ...නෑ... 10 වෙනි පාඩම නෙමෙයි.සික්! ඊට පෝ..ඩ්ඩක් මෙහායින් තියෙන “සත්වයන්ගේ සමායෝජනය සහ සමස්ථිතිය” පාඩමයි.

එය සිහිවූ වහා..ම! ඒ පාඩම ඉගැන්වූ සර්ලා මිස් ලා අපිට එතකොට උගන්නා ඇත්තේ බොරුදැයි සිතී මාගේ දෑස් කෝපයෙන් ඔවු කෝපයෙන් දිලිසුනාය. ඒ මොකද කියනවානම් අපේ සර් ලා අපිට කිවුවේ

හාට් එක කරන්නේ සරීරය පුරා ලේ පොම්ප කරලා දෙන එකය , ආදරය,බය,කෝපය, වගේ හැම කෙහෙම්මල් හැඟීමක්ම ඇති වන්නේ අර කියනා බම්බු හාට් එකේ නෙමේය “හයිපොතැලමස”  කියලා එකකය කියලාය. ඒ බරපතල නමක් තියන අවයවේ තියෙන්නේ මොලේය.හාට් එකේ පැත්ත පලාතකවත් නෙමේය.

එතකොට ඒ කියනා හැටියට ලවු එක සමඟ හාට් එකේ කිසිම සම්බන්ධයක් නැත්තේය.ඒ වුනාට හැම ලවු සිංදුවේම ඇත්තේ

හදේ  කොතැනක හෝ හිඳී  ඔබ...

ඔබේ හදවත සැලෙන රාවය පවා මසිතට දැනුනු මොහොතක...

සීගිරී ගීයක් ඔබේ හදවතේ ලියන්න දෙනවාද...
                                                                                  

හදවත ඉල්ලා නොලැබුනු විටදී...

මුළු ලොවම නැති උනත් එකම හදවතක් ඇත ඔබේ නාමයෙන්..

කියලාය.

 මට සිතෙනා විදහට මෙය පිටසක්වලින් සිදුකරන ලද අධිරාජ්ජවාදී කුමන්ත්‍රනේක පුතිඵලයක් විදහට උන එකකි.මානූසීය තත්ව යටතේ සිතා බලා අප මේ සේස්ට හයිපොතැලමස් අවයවයානන් කළ නිහඬ සේවය අගය කිරීමටත් සිදුවූ අසාදාරනේ පිටු දැකීමටත් වහා....ම පෙළ ගැසිය යුතුය.

ඒ අනුව වහාම කියාත්මක වන පරිදි සියළු ලවු සින්දු වල හදවත කියන වචනය වෙනුවට හයිපොතැලමස ආදේස කර ,

හයිපොතැලමසේ කොතැනක හෝ හිඳී  ඔබ.....

ඔබේ හයිපොතැලමස  සැලෙන රාවය පවා මසිතට දැනුනු මොහොතක...

සීගිරී ගීයක් ඔබේ හයිපොතැලමසේ ලියන්න දෙනවාද...

හයිපොතැලමස ඉල්ලා නොලැබුනු විටදී...

මුළු ලොවම නැති උනත් එකම හයිපොතැලමසක් ඇත ඔබේ නාමයෙන්..
                                         
මේ ලෙස ගායනා කළ යුතු බවට මම යෝජනා කරනවාය.

ඒ වාගේම අද පටන් ඔබ හැමෝම තමන්ගේ පෙම් වතාට වතීට හස්බන්ඩාට වයිපරේට හදවතින් ආදරේ කරනවා කියා නොකියා “මම ඔයාට මුළු හයිපොතැලමසෙන්ම ආදරෙයි” කියන ලෙසට ඉල්ලා සිටිනවාය.

මේ අහිංසකයාට අද සිදුවූ අසාධාරණය හෙට ඔබට විය හැකිය! මෙය පිටු දැකීම සඳහා අදම පිළිවෙතින් පෙළගැසෙමු!

                                                    




read more ››

Saturday, February 15, 2014

නමෝ විත්තියෙන් පටන් ගත්තා එහෙනම්!


නමෝ විත්තියෙන්ම අළුත්ම අළුත් බ්ලොග් එකේ කුළුඳුල් පෝස්ටුව මොකක් ගැනද දාන්නෙ කියලා හිත හිත ඉන්නකොට හිතුනා..මේ වගේ හැම කටයුත්තකදිම වගේ ආශිර්වාදෙ ලබාගන්න සරස්වතී මෑණියන් ගැන පොඩි විස්තරේකින් පටන් ගත්තොත් හොඳයි කියලා.විස්තරේට කලින් පොඩි පෙරවදනක් තියෙනවා ඔන්න.

අච්චාරු කඩයක් උනත් පිළිවෙලකට විවෘත කරන්න එපායැ.මුලින්ම උත්සව සභාවට පැමිණ සිටින සියළුම සම්භාවනීය අමුත්තන්ගෙන් අවරසයි.බ්ලොග් එකක් පටන් ගන්න ලොකු අදහසක් තිබුනෙ නැති උනාට මියැසියේ රස කතා බ්ලොග් එක ලියන  සිංදුවා අයියණ්ඩියි මෝරා මලයයි තවය තව අයයි දහ පාලොස් පාරක්ම කිවුව නිසාත් ලියන්න ආසාවක් තියෙන නිසාත් මටත් හිතුනා කඩයක්... ආ නෑ නෑ බ්ලොග් එකක් පටන් ගන්න.ආන්න ඒ නිසා මම සිංදුවා මහතාට ආරාධනා කරනවා පොල්තෙල් පහන දල්වන ලෙසට.‍

පොල්තෙල් පහනේ තව කෑල්ලක් දල්වන්න මාතලන්ගේ සින්ඩියේ මාතලන් සර් තුමාටත් ආරාධනා කොරනවා.බ්ලොග හදන්න සියළු උපදෙස් මාතලං මහතාගේ බොලොග් පන්තියෙන් ඕං.

ස්තුති කතා අනන් මනන් එච්චරයි.අළුතෙන් පටන් ගත්ත මගේ බ්ලොග් පැටික්කිට සරසවි මෑනියන්ගේ පිහිටයි ආශිර්වාදයයි..කියලා පොඩි කතන්දර දෙකක් කොටන්නම් ඈ.
                                                                                            
                                   
   



බ්‍රහ්මණී, සාවිත්‍රී ,පුත්කාරී , මහේෂ්වරී,බ්‍රහ්මී , භාරතී, වාග්දේවී , වාගේෂ්වරී,වීණාධාරී , ගීදේවී, හංසවාහිනී,සාරදා වගේ බොහෝ නම් වලින් හඳුන්වන සරස්වතී මෑණියො ශ්වේත වර්ණයෙන් සැරසිලා සුදු නෙළුමක් මත වාඩිවෙලා ඉන්න ඉතා රූමත් කාන්තාවක් කියලයි හැඳින්වෙන්නෙ.අත් සතරකින් යුත් මෙතුමියගෙ අත් සතරෙන් මිනිසාගේ පෞරුෂයේ පැතිකඩ හතරන් වන මනස,ආධ්‍යාත්මය,සිහිය,ආත්මාර්ථය නිරූපිතයි කියල කියන අතරෙ සෘග්,යජුර්,සාම,අථර්වන් යන සතර වේදයන් නිරූපිතයි කියලා මතවාදෙකුත් තියෙනවා.

මෙතුමිය ගැන ගොඩක් විස්තර තිබුනත් ‍ බොහොම අපූරු කතා පුවත් එහෙමත් තියෙනවා.එයින් දෙකක් ලියන්නම්.හැබැයි විහිළු තහළු කෑලි නැතුව තමයි ලියන්නෙ දෙයියො එක්ක විහිළු කරන්න පොඩ්ඩක් බය හින්දා.

ඔන්න පුරාණ දේව කතාවල තියෙන විදිහට සරස්වතිය විෂ්ණු මහා දේවොත්තමයානන් වහන්සේගේ බිරිඳක් වෙලා ඉඳලා තියෙනවා.බිරිඳක් කියන්නෙ විෂ්ණු දෙවියන්ට බිරින්දෑවරු තිදෙනෙක් හිටපු නිසා.ඒ තමයි..සරස්වතී දේවිය,ගංගා දේවිය සහ ලක්ෂ්මී දේවිය.ඔන්න ඉතිං මේ භාර්යාවන් තුන්දෙනා අතරෙ නිතර නිතර ආරවුල් ඇති වෙලා තියෙනවා.ඒක නිසා අන්තිමේදි මේ ආරවුල් බේරන්න විෂ්ණු දෙවියො ලක්ෂ්මි දේවිය තමන්‍ ගාව තියාගෙන ගංගා දේවිය ශිවටත්,සරස්වතිය මහබඹුටත් භාර කලාලු.මහ බ්‍රහ්මයාගේ වාහනය වන හංසයා සරස්වතියට ලැබුනෙ ඒ විදිහට කියලත් කියනවා.

සමහරවිට මේ ආරවුල් නිසා වෙන්න ඇති නේද මිනිස්සු අතරෙ කතාවක් තියෙන්නෙ ලක්ෂ්මියත් සරස්වතියත් එක තැනක වෙසෙන්නෙ නෑ කියලා.ඒ කතාවෙ ඇත්තක් නැත්තෙමත් නෑ බලාගෙන යද්දි.මුදල් ඉස්සරහට එද්දි කලාව වලපල්ලට යන්නෙ ඒක නිසාද දන්නෙත් නෑනේ..

ඔය වගේ තවත් කතාවක් තියනවා ඔන්න.

ඔයගොල්ලො හැමෝම දන්නවනෙ කුම්භකර්ණව. වතාවක් ඔහු මහා බ්‍රහ්මයගෙන් වරමක් ඉල්ලනවා නොමැරී ඉන්න.මේ වරය ලබාගන්න කුම්භකරණට සිදුවෙනවා උග්‍ර තපස් වෘත රකින්න.ඒත් මහා බ්‍රහ්මයා කුම්භකරණට වරය නොදී ඉන්න තමයි හිතාගෙන හිටියෙ.හැබැයි කුම්භකරණ දිගටම තපස් රකිනකොට ඒ තවුස්දම් බලයෙන් මුළු තුන් ලෝකයට දරා ගන්න බැරි තරම් රස්නයක් ඇති උනා.මේ රස්නය නිසා දේව මණ්ඩලය පවා කැලඹීමට පත් උනා.

මේ නිසා මහා බ්‍රහ්මයා හොඳට කල්පනා කරලා සැලැස්මක් හදාගත්තා.ඒ සැලැස්මට උදවු වෙන්න කියලා සරස්වතියට කිවුවා.සරස්වතියට තිබුනු රාජකාරිය තමයි කුම්භකරණ මහබඹුගෙන් වරම ඉල්ලද්දි කුම්භකරණගෙ දිවට ආරූඪ වෙලා වචන පටලවන එක.සරස්වතිය ඒ වැඩේ හරියටම කලා.ඒ නිසා අමරණිය වෙන්න ආපු කුම්භකරණට උනේ සදාකාලික නින්දකට වැටෙන්න.පසු කාලීනම මහ බඹු දඬුවම ලිහිල් කරලා මාස හයක් නින්දත් මාස හයක් අවදියෙන් ඉන්නත් සැලැස්සුවලු

හැබැයි කුම්භකරණ කවදාවත් දැනගෙන නෑ සරස්වතිය තමන්ගෙ දිවට ආරූඪ උනා කියලා.

ඕන්න ඔහොම කිවුවට...සකල කලාවටම වගේම අධ්‍යාපනයටත් බැලුම් හෙළන සරස්වතී මෑණියන්ගෙන් සෑම කලා කටයුත්තකදිමත්,දරුවන්ගෙ අධ්‍යාපන කටයුතු වලදිත් ආශිර්වාදය ලබාගන්න එක අදත් සුලබ දෙයක්.

ෂඩ් භාෂා පරමේෂ්වර තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවොත් සරස්වතී වරම් ලබා ගත්තා කියලා කියනවා.

එහෙනම් ඔන්න පලවෙනි පෝස්ටුව නිසා පොඩි පෝස්ටුවක් කෙටුවා

මේ කන්නලවු කවියත් කියලා මගේ බ්ලොග් එකට වගේම කියවන ඔබ හැමෝටමත් සරස්වතී මෑණියන්ගෙ ආශිර්වාදය ලැබෙන්න කියලා හදවතින් පතන ගමන් අදට ගිහින් එන්නම්!

                                දැනුම් සවි සිහි සවි
                                බස සවි සිත් කලා සවි
                                සතර කවි සරසවි
                                මවුනි මට දුන මැනව සිවු සවි


read more ››