Saturday, February 22, 2014

කඩතිර හැර බලනු මැනේ දෙවොල හිස්වෙලා...




 ගීත දෙකක් නිසා මේ පෝස්ට් එක ලියවෙන්නෙ.එකක් නම් කලින් අහපු එකක් ඒ චන්ද්‍රසේන හෙට්ටිආරච්චි මහතාගේ“සඳුන් කපුරු සුළං රොදේ”

අනික මමනම් පළවෙනි වතාවට ඊයෙ පෙරේදා තමයි ඇහුවෙ.ඒ තමයි නන්දා මාලිනියන්‍‍ගේ “බුදුහිමියන්ටත් කලියුගයේ දෙවියන්ගේ පිහිටයි” ගීතය.

අහල නැත්තං පොඩ්ඩක් අහලම ඉන්න.දෙවනි ගීතය.එය එතරම් ඇහෙන්නෙ නැති නිසා දැම්මෙ.
 
මේකෙ ගීතයට කලින් නන්දා මාලිනියන්ගෙ පොඩි පූර්ව කථනයක් තියෙනවා.

“පොළොන්නරු යුගයේදී විද්‍යා චක්‍රවර්තීන් බුත්සරණ ලිවුවේත්,කෝට්ටේ යුගයේදී වීදාගම හාමුදුරුවන් බුදුගුණ අලංකාරය ලිවුවේත් දේව වාදයෙන් යටපත් වූ බුදුදහම නඟා සිටුවීමටයි.මේ වූ කලී එවන් කෘතියකට හොඳම කාලය එළඹ ඇති බව මතක් කර දීමකි”

කියලා.

ඒ පූර්ව කථනයට පස්සෙ දේවාලෙ යාතිකාවක් වගේ කොටසක් තියෙනවා ඊට පස්සෙ තමයි ගීතය එන්නෙ.ඒ  වචන ටික දාන්නම් අහල තියෙන මතක නැති අයටත් මතක් වෙන්න.

බුදුහිමියන්ටත් කලියුගයේ - දෙවියන්ගේ පිහිටයි
බුදුන්ටත් දෙවියන්ගේ පිහිටයි //

පරවුණු මල් දැක නිවුණු පහන් මැද 
බුදුහිමි තනිවිය බුදුකුටියේ
මල්දම් පළතුරු අගිල් කපුරු මැද
දෙවු රජ වැජඹෙයි දෙවු මැදුරේ

බුදුහිමියන්ටත් කලියුගයේ - දෙවියන්ගේ පිහිටයි
බුදුන්ටත් දෙවියන්ගේ පිහිටයි //

යතියන් පුද දෙන රුපියල් සත ගෙන
රුපුන් නසා දී රැකවරණේ 
දෙවියන් උපයන මුදලින් සුරැකෙයි
බුදුන් දහම් සඟ තුන්සරණේ

බුදුහිමියන්ටත් කලියුගයේ - දෙවියන්ගේ පිහිටයි
බුදුන්ටත් දෙවියන්ගේ පිහිටයි //

 මේ  ගීතය ඇහුවම මට හිතුන පෞද්ගලික අදහස් කීපයක් බෙදාගන්නයි හිතුවෙ.මේ ගැන හැමෝටම තම තමන්ගෙ මතයක් ඇති කියලා හිතනවා.

වරින් වර ලංකාව පාලනය කරපු දමිළ රජවරු නිසා ඔය දේවාල සංකල්පය ලංකාවෙ ස්ථාපිත උනා.ඒත් එක්කම සියවස් ගණනාවක සිට දේවාල සංකල්පය විවිධ මුහුණුවර ගනිමින්  ජනතාව අතරට එකතුඋනා.අද වෙනකොට ඒක බොහෝ දුරට සමාජගත වෙලා තියෙනවා.එහි කිසිම වැරැද්දක් නෑ.වැරැද්ද වෙන්නෙ සමාජගත වෙලා තියෙන විදිහෙ.දේවාල සංකල්පය කොහොම වෙතත් දේව සංකල්පය නම් ඊට ගොඩක් පැරණියි.එය ප්‍රතික්ෂේප කරන්න කොහොමටත් බැහැ.එහෙමනම් බුදුබණත්‍ බොරු වෙන්න ඕන.

අද වෙද්දි දේවාල වැහි වැහැලා.දේවාරූඪයෙන් සාස්තර කියන තැන් වැහි වැහැලා.අපල මුද්දක්,යන්තරයක් දාන්න කියලා නොඅහපු කෙනෙක් නැතුව ඇති.අඇත්තටම ඔය දේවාරූඪයෙන් සාස්තර කියන තැන් කිවුවට දෙවියො වඩින්නෙ නෑ ඔය හැම තැනටම.දේව භක්තියත් එක්ක වැඩිච්ච දේවාල අද වෙද්දි මුදල් මත යැපෙන තත්වෙකට පත්වෙලා.ඔය වගේ අධ්‍යාත්මයට ළඟ දේවල් වලට මුදල් සම්බන්ධ වෙනවා කියන්නෙම එහි වටිනාකම පහළ යාමක්.කණගාටුවට කාරණය නම් බොහෝවිට දේවාල පසුපස යමින් අන්ධ විශ් වාසයක වෙලෙන බොහෝ දෙනා බෞද්ධයන් වීමයි..ඇතැම්විට බුදුදහම යනු ඇදහිල්ලක් නොව දර්ශනයක් නිසාත් අනිත් බොහෝ ප්‍රචලිත ආගම් දෙවි කෙනෙක් මත ඇති විශ්වාසය පදනම් කොට ගොඩනැගුණු නිසාත් බෞද්ධයන් පමණක් බුදුන්ට අමතරව දේව පිහිටක අවශ්‍යතාවය සොයනවා වෙන්න පුළුවන්.

මට දැනෙනා ප්‍රශ්නය නම් පිහිට පැතීම නොවේ.දෙවියන්ගෙන් පිහිටක් ඇති බව මා ඉඳුරාම විස්වාස කරනවා.නමුත් පිහිට ලැබීම සඳහා යා යුත්තේ ඔවැනි මාර්ගයකද යන්න පිළිබඳව ප්‍රශ්නයක් මට තියෙනවා.

උදාහරණයක් විදහට දේවාලයක බාර හාර සඳහා පූජාවට්ටි පූජා කිරීම සලකා බලමු.එහිදී මමම ඇහින් දැකපු කාරණයක් තමයි එම පූජා වට්ටිය පූජා කරන්නන් වෙනුවෙන් දෙවියන්ට යාතිකා කරන කපු මහතා වැඩි මුදලක් පඬුරු ලෙස තබන ලද පූජා වට්ටියට වැඩියෙන් යාතිකා කරන බවත් අනෙක්වාට අඩු බවත්.එයින් ඔහු අදහස් කරන්නේ මුදලේ ප්‍රමාණය මත දේව පිහිට ලැබෙන ප්‍රමාණය අනුලෝම වන බවද?

කතරගම දේවාල පුදබිමට ඔබ හැමෝම වගේ ගිහින් ඇති.ඉස්සර නම් අපි පළතුරු එක්කො සල්ලි දීලා අරගෙන නැත්තං ගෙරද හැදනු ඒවා අරන් ගිහින් අපේ අතින් පිළයෙළ කරපු පූජා වට්ටියක් පූජා කිරීමයි සිදුවූනේ.නමුත් දැන් එතන තියෙනවා එක්තරා ව්‍යාපාරයක් අප මුදල් ගෙවූ විට කඩේ සිටින අයවලුන් විසින් පූජා වට්ටිය සකසා දේවාලය අසලටම ගෙනවිත් දෙනවා.අපිට ඇත්තේ පෝළිමේ ගොස් පිහිට පැතීම පමණයි.තව කාලයක් යද්දි ඔවුන්ගේ නියෝජිතයන්ම අප වෙනුවෙන් පෝළිමේ ගොස් පිහිට පැතීම සිදුවිමටත් ඉඩ තියෙනවා.එතැන අවම වශයෙන් දේව භක්තියවත් නැති බව මගේ හැඟීමයි.
                                     
                                         

 
සුදෝ සුදු රෙද්දකින් තමන්ගෙ හොර මැරකම් සේරම වහගෙන ඇවිත් සරුසාර පූජා වට්ටියක් පූජා කරලා දෙවියන් වඳින කම්බා හොරු,දේශපාලඥයෝ,‍වෙළෙන්දෝ දැකලා ඇති නේ? එසේනම් ඔවුන්ටත් දේව පිහිට ලැබෙනවාද?

ඇත්තටම නම් දෙවියන් යැදීම සිදුවිය යුත්තේ කෙසේද? මා සිතනා ආකාරයට මුලින්ම සිතින් කයින් වගේම වචනයෙනුත් හික්මිලා සිටිය  යුතුයි.ඒ වගේම බෞද්ධයන් නම් බෞද්ධ දර්ශනය අනුව යමින් පින්,කුසල් රැස් කරමින් දෙවියන්ට පිං අනුමෝදන් කිරීමට තරම් සුදුසුකමකින් යුක්ත විය යුතුයි.කරන්නන් වාලේ පෙරළි පෙරළි දෙවියන් වැන්දාට ඇති වැඩක් නැත.කරන තරම් ජඩ වැඩ සියල්ල කරමින් නිවස තුළ දේවාලයක් සාදා  දවස පුරා යාතිකා කළද ලැබෙන පිහිටක් නම් නැති බව මගේ හැඟීමයි.එය හරියටම කළයක් මුනින් හරවා වතුර වත් කිරීමට  සමානය.

පන්සල් යාම පැත්තකින් තියමු.අද බොහෝ දෙනාගේ තර්කයක්නෙ පින් කරන්න පන්සල් යන්නම ඕන නැති බව.ඒත් පුළුවන්තරම් අනුන්ගේ රෙදි ඇද වී ඇති එකම හොයන,.තමන්ගේ ළමයා හැර අනිත් ළමයි දියුණුවෙනවාට අකමඅති,අල්ලපු ගෙදර එකා වාහනයක් ගත්විට ඉරිසියාව කට දෙපැත්තෙන් බේරෙන කී දෙනෙක් දේවාල වඳින්නට යනවාද?ඔවුන්ටත් දෙවි පිහිට ලැබෙනවා යයි කීම මටනම් හාස්‍යයට කරුණක්.

බොහෝ විට දරුවෙක් විභාගයක් සදහා යනවිට සරස්වතියට,ගණ දෙවියන්ට පූජා පැවැත්වීම අද සාමාන්‍ය දෙයක් වී ඇත.මා සිතනා ආකාරයට එහි වරදක් නැත.නිසි ලෙස විභාගයට සූදානම් වී,තම ආගම ධර්මයට අනුගත වී සිටි දරුවකු දේව භක්තිය මුල්කොට එසේ බාරයක් වීමෙන් සිදුවන්නේ එම දරුවාගේ සිතට යම් අධ්‍යාත්මික සුවයක් සමඟ ආශිර්වාදය පිළිබඳ විස්වායක් ඇති වීමයි.ඒ  විස්වාසය ඔහුට විභාගය ජය ගැනීම සදහා ඇත්තටම ඉවහල් වේවි.නමුත් ගණ දෙවියන්ට බාරයක් වූ පමණින් සියල්ල සිදු වන්නේ නෑ.විබාගයට සූදානම් නැතිව, විභාගය නිසාම පමණක් දෙවියන් බුදුන් මතක් වෙන කෙනෙක්නම් පූජා වට්ටි 10ක් දුන්නත්,යන්තර 10ක් බෙල්ලෙ එල්ල ගත්තත් එතන පිහිටක් ඇත්තෙ නැහැ.

 මේ තරම් දෙවියන් වඳින පුදන රටකට ඔය කියනා තරම් දේව බැල්ම වැටුනේ නම් මේ තරම් අපරාධ සිදු වෙන්න බැහැ.උදේ පාන්දර සිට මහ රෑ වෙනතෙක් තර‍ඟෙට සෙත් පිරිත්,දේවාශිර්වාද කවි,දහම් සිතුවිලි ප්‍රචාරය වෙන දවස තිස්සේම බණ කියන, රේඩියෝ චැනල් ටී.වී. චැනල් බර ගානක් තියෙන රටක් මේ වෙද්දි ධර්ම රාජ්‍යයේ පේනතෙක් මානෙකටවත් ඇවිත් නැත්තෙ ඇයි? 

දෙවියන් විකුණා කන සමාජයක් තුළ දෙවියන් වැඩ හිදීවිද?මගේ දැඩි විස්වාසය නම් මෙය සිතත් සමඟ කරනා ගනුදෙනුවක් බැවින් තමාගේ හිත පිරිසිදු නම් ඒ තුළම දෙවියන් වැඩ හිදීවි.තමා නිවැරදි බවට සිතින් සත්‍යක්‍රියාවක් කොට දෙවියන්  සිහිකිරීමෙන් පවා දේව පිහිට ලැබිය හැකි වේවි.කිසිදු දිනක ඔබට නොහැකියි දෙවියන්ව මුදලට ගන්න.ඇත්තටම “පොළව කොටන තැන පාර හදන තැන ගිනියම් අවුවේ මහ වරුසාවේ දෙවියෝ වැඩ ඉන්නේ..බලන් කඩතුරා හැර දෑසේ...” කියලා තමයි කියන්න වෙන්නෙ.

යන්තර,අපල මුදු ගැන එහෙම කියනවනම් කියන්න තියෙන්නෙ අද වෙද්දි, “ ජ්‍යොතිශය කලියුගයේදී මියයයි.අන්ධව යළි උපදී” කියන ප්‍රකාශය සත්‍ය වේගෙන යන බවයි.මම දැක්කා වයලීනෝ අයියා කොහෙහරි කියලා තිබුනා ඉස්සර ජ්‍යොතිශයේ කෙළ පැමිණි අය මේ කාලෙ පුද්ගලයන් ඔය ‍‍වගේ දෙවල්වලින් වැරදි ප්‍රයෝජන ගන්නා නිසා ශාස්ත්‍රය සම්පූර්ණයෙන් ‍මේ පරපුරට ඔවුන් සම්ප්‍රේෂණය කරලා නැහැ කියලා.අද සිද්ධ වෙන දේවල් එක්ක බැලුවම ඒ කතාවනම් ඇත්ත බව වැටහෙනවා.

අපි මේ අන්ධ විස්වාස ගැන කතා කරන්නෙ ;

ෆේස් බුක් එකෙන් බුදුවෙන ,තමා බෝධිසත්ත්වයෙක් යැයි කියාගන්නා මානසික රෝගීන් සිටින කාලෙක.

බුදු හාමුදුරුවන්ගේ කාලෙත් තිබු කැසිනෝ දැන් තිබුනාට කමක් නෑ කියන,තමන් සෝවාන් උන බවට කෑ මොර දෙන ,ජාතිය බේරා ගැනීමට ගිනි තබා ගන්නා “හාමුදුරුවරු” වැඩ සිටින කාලෙක.

භාවනා පන්ති පවත්වමින් මාර්ගඵල ක්ෂනිකව ලබාදෙන සෘෂිවරු වැඩ සිටිනා කාලයක.

බුද්ධ බාර් වල නිරිවාණය මෙනු එකක් වෙන කාලෙක.

කියලත් අමතක කරන්න බැහැ.

අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ පිහිටක් ලැබීමට පෙර ඔබ එය ලැබීමට සුදුස්සෙක් විය යුතුයි.අධි විශ්වායෙන් හෝ අවිශ්වාසයෙන් යන ‍මාර්ග දෙකෙහිම පිහිටක් නැහැ.ආගම දහම මුල් තැන තබා ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින් රකී යන්න වටහා ගත් දිනක හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳී යන්න ඔබට වැටහේවි.

සඳුන් කපුරු සුළං රොදේ පිරුවට ඇඳලා
පැතුම් පඬුරු දෝත දරා දේව යාතිකා
යැදුම් හඬින් කම්පිත වී දිව නෙත් වැසිලා
කඩතිර හැර බලනු මැනේ දෙවොල හිස්වෙලා

කිළිටි දෙපා ගැටුණු බිමේ කහ දිය ඉසලා
රන් කහවනු පුදමින් තටු සිරස තබාලා
සකල දෝස නිවාලන්න යාදිනි ගැයෙනා
කලියුගයේ අරුමය මැද දෙවොල හිස්වෙලා

මුසා වදන් සිත පත්ලේ -සැඟවේ දෙවියන් හමුවේ //
ඉසුරු පතා යදින්නේ මිනිසා කොයිබද යන්නේ

සිලෝ ගීත දෙවියන්ගේ - පහන් සිතට ළං වෙන්නේ
යාදිනි කිම වැළපෙන්නේ සිතමයි දෙවොලක් වෙන්නේ

33 comments:

  1. හිටියොත් හොඳට හැදී කිව්වේ ඉස්සර සාසෝ... දැන් හිටියොත් දෙකට නැවී යුගය :D දේවාලේ ප්‍රධාන කපු උන්නැහේම කොරන එව්වට දැන් දෙයියෝ පැත්ත පළාතේ තියා ලංකාවෙන් පඬුපුල් ආසනේට එන වයර් කපළලු තියෙන්නේ...
    මිනිස්සු හරිම මෝඩයි බං. නැත්නම් ගාල්තැන්නේට ඔය තාමත් යන හරක් ඉන්නේ... වැඩිය ඕනි නෑ අර කතරගමට දෙයියෝ වැඩියා කියලා කී දෙනෙක් ගියාද.
    දැන් දේවාලෙට වඩා අලුත් ඉට්ටයිල් එක අර ෆෙන්චුයින් ද මොකක්ද එකනේ.... :D එල එල පට්ට පොස්ට් එක... නන්දගේ සිංදුව අහලා තිබුනේ නැනේ. ටන්කු ඈ

    ReplyDelete
    Replies
    1. හප්පා ඔය පෙංචුයි තමා ඊලග වසංගතේ.අපේ එහා ගෙදර අක්කත් පොළව හාර හාර එක එක ඒවා වලලනවා.අපෙ අම්මටත් සඟරා වගයක් දීලා තිබුනා.මම විසි කරලා දැම්මා.
      මෝඩයි කියන්නෙ අනේ මන්දා ඇයි මේවා නොතේරෙන්නෙ කියලා හිතාගන්න බැහැ.ඔවු ඔය සිංදුව අහම්බෙන් හ්මබුනේ මටත්.
      ටැංකුයි සිංදුවො කොමෛන්ටුවට

      හඃ හඃ හඃ හිටියොත් දෙකට නැමී නෙ :p

      Delete
    2. @ සිංදුවා ,,.. +++++++++++++++++++++++

      Delete
  2. niyamai
    me dewaala siddhiyedi nam mama ahala thiyenawa wena wena amanushyayange balapamuth thiyenawa kiyala, ethakota aththatama api pihita pathanne kagenda kiyana 1 hithala balanna oni
    deviyantath wadinawanam wadinna kiyala hodata hadila hitiyama iwarane

    ReplyDelete
    Replies
    1. ඒකනෙ කියන්නෙ.හොඳට හිටියොත් කොයි දෙයියොත් වඳී.අපේ මිනිස්සුන්ට ඒවා කියලා වැඩක් නෑ අප්පා

      Delete
  3. හොද විස්තරාත්මක ලිපියක්.
    අඩු ගානේ අන්ධ විශ්වාසයෙන් වැඩ කරන දෙමාපියන්ගෙ දරුවො හරි මෙවැනි ලිපි කියල ඒවා බොරු වැඩ බව හිතල ඉවත දමන කාලයක් අනාගතයේදි හරි එන්නෙ නැතැයි .
    මෙවැනි පැතිකඩවල් පෙන්වන ලිපිත් ඉදහිට ලියන්න.

    ReplyDelete
    Replies
    1. ඔවු කොහොමත් වැඩිහිටි පරම්පරාව මේවා දකින්නෙ නෑනෙ.අඩු ගානෙ අනාගතේදිවත් මේ වගේ දේවල් නකර වෙලා ඇත්ත දකිනවනම් ලොකු දෙයක්

      Delete
  4. Replies
    1. තැංකිවු ප්‍රියා! මම shasa නෙමෙයි sasha :D

      Delete
    2. සොරි සොරි, මට කියවෙන්නෙම Shasa කියලනෙ. ආයෙ කියන්නෑ :-D

      Delete
    3. හඃ හඃ අවුලක් නෑ :)

      Delete
  5. මේ අමාරුවෙන් ගන්න පිං ටිකත් නිකම් දීල තව පලතුරු වට්ටිත් දීපල්ලකෝ.

    ReplyDelete
    Replies
    1. හා හා දෙයියෝ කෝප වෙයි ඈ..

      Delete
  6. මේක සිරා දිගටම ලියපන් මචං

    ReplyDelete
    Replies
    1. තැංකුවු කිවුවා ඕං..දිගටම එන්න ඕන මේ පැත්තෙ

      Delete
  7. හැදෙන පරම්පරාවටවත් මොළේ පෑදෙන්න මේවා ලියන්න ඕනෑ,බොහොම හොඳයි සාෂා දිගටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කියවලා කොමෙන්ටුවකුත් දැම්මට :)

      Delete
  8. මගේ නම් මේවා ගැන කොහෙත්තම විශ්වාසයක් නෑ.. හොද විස්තරයක්..

    ReplyDelete
    Replies
    1. අන්ධ විස්වාසයට වඩා විසිවාස නොකර සිටීම හොඳයි

      බොහොම ස්තුතියි දිනේෂ්

      Delete
  9. මේ ලඟදි හොඳ උපහාසයක් දැක්කා ටෙලිවිෂන් චැනල් එකක විකට වැඩසටහනක; දේවාරූඩයෙන් සාස්තර කියන්නේ ගූගල් සර්ච් කරලා.
    පුලුවන් වෙලාවක් ඇවිත් යන්න අමතක කරන්න එපා:- දුලාගේ අඩවිය | Dula's Place

    ReplyDelete
    Replies
    1. හඃ හඃ ඉස්සරහට ඕකත් වෙන්න බැරි නෑ.
      අනිවාර්යෙන් එන්නම්.බ්ලොග් රෝගට දාලම තියාගන්නංකො.
      මේ පැත්තටත් ඇවිත් යන්න එන්න දුලා

      Delete
  10. ආගම්, දේවාල, දෙයියො.. සේරම බිස්නස් කර ගත්තු අය හැමදාම හිටිය. දැන් ටිකක් වැඩියි වාගෙ.. අවුරුදු කීපයකට කලින්, මගෙ හිතවතෙක් ත්‍රි විලර් එකක් ගෙනල්ල ඒකට පූජාවක් තියන්න ගියාම කපුවා ලස්සන කතාවක් කිව්වලු..
    මාස තුනක ආරක්ෂාවකට නම් රු. 500, මාස හයකට නම් රු. 800.. අවුරුද්දටත් කීයක්ද ගානක් කිව්වලු. ඔන්න ඔහොමයි ඉතින්..
    මොන ආගම හෝ අවබෝධයෙන් යුතුව අදහන්න, පිලිපදින්න මිනිස්සු පුරුදු වෙන්න ඕන. අර අන්තිම සිංදුව මාත් කාලයක් පැල් බැඳගෙන අහපු එකක්.. :)

    ReplyDelete
    Replies
    1. හඃ හඃ ඔවු ඒකත් ඉන්ෂුවරන්ස් තමා.තව කාලෙකින් ඒකත් ලීස් කරලා අරගෙන ලෙවුවෙ නැත්තං වාහනේ උස්සයිද දන්නෑ කපුවො.

      හ්ම්..ලස්සන සිංදුවක් නේද. තැංකුයි මේ පැත්තෙ ආවට...

      Delete
  11. අරහෙත් කියොලා මෙහෙත් කියෙව්වේමි. ලස්සනයි :)

    //ආගම දහම මුල් තැන තබා ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින් රකී යන්න වටහා ගත් දිනක හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳී යන්න ඔබට වැටහේවි.// Like :)

    ReplyDelete
    Replies
    1. බෝම ටැංකිවු බඩියෝ...:D

      Delete
  12. සාෂා......අදමයි ආවේ....මේ රැවටීම එන්න එන්නම දිගටම යනවා. මම නැවතිලා හිටිය පන්සලේත් තිබුනා දේවාල දෙකක්. හැබැයි මේ තරම් ගැරිල්ලක් තිබුනේ නැහැ. මේ දේවාල සංකල්පය නම් නියම ඇන්දිල්ලක් කරගෙන තියෙන්නේ.

    මේ බ්ලොග් එක මාතලන්ගේ සින්ඩියේ එල්ලපන්කෝ.

    බුදුහිමියන්ටත් ගීතය නන්දාගේ සත්‍යයේ ගීතය හෝ පවන ප්‍රසංගයේ තිබුනා. සුනිල් ආරියරත්න ලිව්වේ. මියුසික් රෝහන වීරසිංහ මගේ හිතේ.

    ReplyDelete
    Replies
    1. අාවාට පිං අරූ (මාමේ)

      එල්ලා තියෙන්නෙ....අපි අළුත් නේ..

      ආ එහෙමද?මියුසික් කාගේද කියල දැනගෙන හිටියෙ නෑ.බොහොම ස්තුතියි!

      අපේ මිනිස්සු කෝමත් ඇඳගන්න දස්සයි නොවැ

      Delete
  13. සිරා කතාවක් ඈ............... එල එල. අර සිංදුව තියෙන තැනක ලිංක් 1 දෙන්නකෝ.

    ReplyDelete
    Replies
    1. ඕං ලින්කුව.බොලාලවත් පොඩ්ඩක් කල්පනා කලොත් හොඳා මෛ්වා

      http://www.topsinhalamp3.com/songs/nanda-malini-mp3-songs/budu-himiyantath-kaliyugaye-mp3-song.php

      Delete
  14. පොළොන්නරු යුගයෙ දෙවියන් ඇදහීම බෝ වුණාට දඹදෙණි යුගයෙ අවසාන භාගයෙ ඉදන් තමා ඒක බුදුදහමට සම්බන්ධ වෙන්න ගන්නෙ... එතුවක් කල් රාජ්‍යානුග්‍රහය එවන් දේකට ලැබුණෙ නෑ නෙව... ඒත් දඹදෙණි යුගයෙ රාජ්‍යානුග්‍රහයත් එක්කම ඒ කාර්ය ඉෂ්ට වෙනව.. එකෙන් තමා බුද්ධ දර්ශනයට දේවාභාශය ලැබිල බුද්ධාතම වුණේ... මහනුවරදි ඒක ප්‍රබලවම කාන්දු වුණ හින්ද තමා අද හැම එකාම බුද්ධාගම බුද්ධාගම කියල නං දොඩවන්නෙ...
    වැදගත් ලිපියක් ඔබට ජය

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඒ විස්තර ටිකට.

      හ්ම් බුද්ධ දර්ශනය අනික් හැම ඉගැන්වීමකින්ම වෙනස් වෙන්නෙ ඒක දර්ශනයක් නිසා බව තේරුම් නොගැනීම තමයි ලොකුම ගැටළුව

      ස්තුතියි ඇවිත් ගියාට

      Delete
  15. දෙයියෝ විකුණන,හුගක් දෙවිගොල්ලොත් විකිණෙන අමුතුම කලියුගයක් මේ.

    මම අච්චාරු කන්න එතරම් මනාප නැහැ,හැබැයි මේ අච්ච්රුවට නම් මම කැමතියි සාෂා..:)

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ සහෝ..ස්තුතියි ආවට..අච්චාරුත් නරකම නෑ මෙයා

      Delete